මාගේ සාමාන්‍ය ලිපි ගෙන ඒමේ කලාවෙන් මදක් බැහැරව මා කළ සම්මුඛ සාකච්ඡාවක් ඔබ වෙත ගෙන ඒමට හැකි වීම මාගේ සමාජ මෙහෙවරේ තවත් එක් සන්ධිස්ථානයක් වනු ඇත. අද මා සමග සම්මුඛ සාකච්ඡාවට සහභාගි වූයේ ජා.ග.ග.කො.ස අධ්‍යක්ෂක (සැලසුම්) විපුල හේවාවලිමුණි මහතායි.
මා - මහතාණෙනි , ලංකාවේ පෞද්ගලික බස් සේවාවෙන් සේවය ලබා ගන්නා මගින් හට ඔවුන් ලබා දෙන මුදලට සරිලන ටිකට් පතක් ලබා නොදීම පිළිබඳ බොහෝ චෝදනා බස් කොන්දොස්තරවරු හට එල්ල වී තිබෙනවා. කුමක්ද මේ පිළිබඳව ඔබගේ අදහස?
ඔහු - ඇත්තෙන්ම අපි ජා.ග.ග.කො.ස වශයෙන් බොහෝ නීති සහ රෙගුලාසි නිකුත් කර තිබෙනවා බස් වල කොන්දොස්තර වරුන්ට අනිවාර්යයෙන්ම ලබා ගන්නා මුදලට සරිලන , එසේම නිසි ප්‍රමිතියෙන් යුතු ටිකට් පතක් මගියාට ලබා දියයුතු ලෙස. සාමාන්‍යයෙන් ගතහොත් පාරිභෝගිකයෙකු ලබාගන්නා ඕනෑම භාණ්ඩ හා සේවාවකට අදාළ ලදු පතක් අනිවාර්යයෙන්ම ඔහු හට ලැබිය යුතුමයි.
මා - එහෙත් එවැන්නක් දැනට සිදුවන්නේ නැහැ ?
ඔහු - ඔව්. ඇතැම් බස්රථ වල කොන්දොස්තර වරු මෙලෙස ටිකට් පත් නිකුත් නොකරන බව අපට ආරංචි වී තිබෙනවා. ඇතැම් වේලාවට ක්ෂණික පරීක්ෂා සැලසුම් කරන්නේද මේ නිසයි. එහෙත් මෙහිදී අපට ගැටළුවක් තිබෙනවා.
මා - ඒ කුමක්ද?
ඔහු - ඒ මෙවන් පරීක්ෂාවන් සිදු කිරීමේදී සමාජයෙන් අපට කිසිදු සහයෝගයක් නොලැබීමයි. තව දුරටත් කියනව නම්; මෙවන් පරීක්ෂාවන් සිදු කිරීමේදී අනෙක් බස් රථ වලින් පරීක්ෂා කිරීමට බලාපොරොත්තු වෙන බස් රථ වෙත සංඥා කිරීම් ආදිය නිසා කොන්දොස්තර වරු සැනින් ලදු පත් බෙදා දීම නිසා අපට බස් රථ සේවාවේ ගුණාත්මක භාවය පිරික්සිය නොහැකි වීමයි. අනෙක් අතට ඒ ඒ බස්රථ වල මගීනුත් ඔවුන් හට ලදු පත් ලබා දුන්නේ දැන් බව සැල නොකර සිටීමටත් අපට ඔවුන්ට එරෙහිව ක්‍රියා මාර්ග නොගැනීමට හේතු වීමට කාරණාවක් වෙනව.
මා - මහත්මයා, එවිට මගීන්ට අයිතිවාසිකමක් තියෙනව නේද ලදු පතක් ඉල්ලීමට? මා දන්නා පරිදි බොහෝ කොන්දොස්තරවරු මෙවන් අවස්ථා වල මගීන් වෙත ගණන්කාරකම් පෙන්වන අවස්ථාද අපමණයි. කුමක්ද මේ පිළිබඳව ඔබගේ අදහස?
ඔහු - ඇත්තෙන්ම ඔව්. මගීන්ට සියලුම ආකාරයෙන් අයිතියක් තිබෙනවා තමා ගෙවූ මුදලට ලදු පතක් ලබා ගැනීමට. ඇත්තෙන්ම අපට නීති කෙතරම් සෑදුවත් මගීන්ගෙන් යම් කිසි නැගී සිටීමක් නොවුනහොත් නීතිය ක්‍රියාත්මක කරගැනීමට නොහැකි වී තිබෙනවා. ඇත්තෙන්ම දැන් මගීන් නිද්‍රාශීලියි. ඔවුන් තම අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරනවා බොහෝ අඩුයි. මා දැක තිබෙන්නේ දෙතුන් දෙනෙකු පමණයි මෙවන් අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්නේ. මගීන් නැගී සිටියහොත් කොන්දොස්තරට කළ හැකි යමක් නැහැ.
මා - මෙවැනි මගීන්ට සිදුවන අසාධාරණ කම් ගැන පැමිණිලි කිරීමට හැකියාවක් තිබෙනවද?
ඔහු - ඔව්. ජා.ග.ග.කො.ස මහජන පැමිණිලි ඒකකය තිබෙනවා. 1515 දුරකතන අංකය ඔස්සේ මේ පිළිබඳව දැනුම් දෙන්න පුළුවන්. හෝ අපගේ ආයතනයට පැමිණ හෝ ලිඛිතව දැනුම් දෙන්න පුළුවන්. එහෙත් අපට අවශ්‍ය අවම තොරතුරු ප්‍රමාණය තිබිය යුතුමයි. එනම් දිනය, වේලාව, බස් රථයේ අංකය වේ.
මා - මෙවැනි පැමිණිල්ලක් ලැබුණු විට ඔබ ආයතනයෙන් සිදුවන පසු විපරම් ස්වභාවය කෙබඳුද?
ඔහු - අප ආයතනයෙන් බලපත් ලැබූ බසයක් නම් අනිවාර්යයෙන්ම පසු විපරම් සිදු වනවා. මේ චෝදනා පිළිබඳ සනාථ වුවහොත් අවශ්‍ය කටයුතු සිදු කරනවා. පළාත් මගින් නිකුත් කරන බලපත් සහිත බස් රථ නම් අප ඒ ඒ පළාත්බද මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට දැනුම් දෙනවා. මේ අවස්ථාවේදී පසු විපරම් කිරීමට අපට හැකියාවක් නැහැ.
මා - දැනට ඔබ ආයතනය මගින් අන්තර් පළාත් බස්රථ සේවා සඳහා ජී.පී.එස් තාක්ෂණය හඳුන්වා දී තිබෙනවා නේද? එහි සාර්ථකත්වය කෙබඳුද?
ඔහු - ඔව්. දැනට සීමා සහිත ප්‍රමාණයක් තමයි ජී.පී.එස් තාක්ෂණය භාවිත කරන්නෙ. අපිට මෙහි ලැබෙන දත්ත වෙන්නෙ බස්රථය තිබෙන ස්ථානයයි, බස් රථයේ වේගය පමණයි. මෙමගින් අපට වෙනත් යමක් නිරීක්ෂණය කළ නොහැකියි.
මා - සාකච්ඡාවට සහභාගී වීම පිළිබඳ ඔබට බොහොම ස්තුතියි.
ඔහු - ඔබටත් බොහොම ස්තුතියි