මා දන්නා තරමින් මා අදහස් දැක්වීමට යනුයේ ඉතා පුළුල් මාතෘකාවක් පිළිබදවයි . මේ සදහා ඔබගේ අදහස් හා යෝජනා ඇත් නම් මෙහි පළ කරන්න.
රූපවාහිනිය යනු මිනිසා විසින් නිර්මාණය කැරෙන ලද අපූරු නිපැයුමකි.ඒ ජෝන් ලොගී බෙයාඩ් මහතා විසිනි. රූපවාහිනි මාධ්‍යය තම වින්දනය , දැනුම මෙන්ම බුද්ධි වර්ධනය සදහාද යොදා ගත හැකි කදිම මෙවලමකි. සාමාන්‍යයෙන් සිදුවිය යුත්තේ මිනිසා මෙවලම් තමාට අවැසි අයුරින් යොදා ගැනීමයි . උදාහරණයක් ගතහොත් පිහියක් නිසි ලෙස යොදා ගත් කල නොසිතිය හැකි තරම් පළ නෙළා ගත හැකි මුත් සුළු පමාවකින් ජීවිත හානියක් පවා සිදුවිය හැක.රූපවාහිනියද තවත් එවැනි උපකරණයක් පමණි.
ලංකාවේ ළමා හා වැඩිහිටියන් බොහෝ දෙනකු රෝගාතුර වීමට රූපවාහිනිය ප්‍රධාන සාධකයක් වී ඇත. කේන්තිය , ආතතිය , නොරිස්සුම් ස්වභාවය , ස්ථුල බව , අධික රුධිර පීඩනය ආදී එකී මෙකී නොකී නොයෙක් රෝගාබාධ අධික රූපවාහිනි ඇබ්බැහි වීමේ ප්‍රතිඵල බව දත්ත සනාථ කරයි. පරිසරය හා වටපිටාව විශ්ව කෝෂයක් බව ඔබත් මමත් දන්නා කරුණකි. නමුත් මේ සංකීර්ණ සමාජ රටාව ,සංකීර්ණ අරමුණු, මුදල් හා ලෞකික සැපය යන මිරිගුව පසුපස හතිදමමින් දිවයන ආත්මාර්තකාමී මිනිසුන් දකින මා හට ඇති වනුයේ මහත් සානුකම්පිත හැගීමකි. කෙසේ වෙතත් පරිසරයෙන් බැහැර වී රූපවාහිනියෙන් මවනා ලෝකය තුළ ජීවත් වන්නා වූ මිනිසුන් හට එය මහත් අනගි බව හැගෙන අතර රූපවාහිනියෙන් බැහැර වීමට ඔවුහු අතිශය මැලිකමක් මෙන්ම විසල් ප්‍රතිරෝධයක්ද දක්වති. කෙසේ හෝ රූපවාහිනි ඇබ්බැහිවීමෙන් බැහැර වන්නන් හට ලැබෙන සැනසුම හා නිදහස අපමණ බව එසේ කළ වුන් පමණක් දනිති.
වෙසෙසින් ම නූතන රූපවාහිනි මාධ‍්‍යයන් වල සිටිනා බොහෝ නිවේදකයන්, නිවේදිකාවන් පොත පත පරිශීලනය නොකළ හුදෙක් ජාත්‍යන්තර පාසල් වල උගත් අය වෙති. සිංහලය අමු අමුවේ මරා දමන කැඩුනු සිංහලෙන් කතා කැරන , ළද බොළද සිතුවිලි ඇති මෙවන් බොහෝ නිවේදක නිවේදිකාවෝ මනා රූ සපුවැති නිරුපන ශිල්පීන් වෙති. මෙවැනි වැඩසටහනක් ඉදහිට හෝ අහම්බෙන් බැලුන හොත් මා හට මුලින්ම සිදුවනුයේ දෙනෙතින් කදුලු පනින තුරු සිනහ යෑමයි. නමුත් හෙළබසට හෙළ සිරිතට කැරෙනා නිගාව දුටු කල්හි ඇති වන්නා වූ කිපීම අපමණ බැව් මා සදහන් කළ යුතුමය. මෙයට මූලිකම හේතු සාධක නම් ලංකාවේ සියලු නාලිකා වල නිවේදකයන් බදවා ගැනීමේ පටිපාටියේදී නිවේදකයන්ගේ ප්‍රමිතිය මැන බැලීමක් නොකිරීමයි. මෙහිදී රජය මගින් ද නීති රෙගුලාසි පනවා පිළිගත් ආයතනයක් මගින් පිරිනමන උපාධි හෝ අධිකර පත් පාඨමාලා අධ්‍යයනය කළ සුදුසුකම් ලත් අය පමණක් බදවා ගැනීමේ පටිපාටියක් ක්‍රියාත්මක කරන්නේ නම් මේ තත්ත්වය ඉතා ඉක්මනින් සමනය කළ හැකි බවද අවධාරණය කැර සිටිමි. මේ සදහා ජාතික සම්පතක් වන ශ්‍රී ලංකා රූපවාහිනි අභ්‍යාස ආයතනය මහත් සේ උපකාරී කැර ගත හැකි යැයි මම සිතන්නෙමි.
වර්තමානයේ විකාශනය වන රූපවාහිනි වැඩසටහන් වල ගුණාත්මක බව පිළිබද මා එතරම් ප්‍රසාදයක් නොදක්වමි. මක් නිසාද යත් බොහෝ වැඩසටහන් ඉන්දියාවේ ක්‍රියාත්මක වන රූපවාහිනි "රියැලිටි" වැඩසටහන් වේ . මේවා ඉන්දියාවද කොහේ හෝ බටහිර රටක දෑ අනුකරණය කරයි . බ්‍රීතාන්‍යය Britains got talent යනුවෙන් පටන් ගත් වැඩසටහන ඇමෙරිකාව Americans got talent යනුවෙන් ද අවසානයේදී ලංකාව Talent Sri Lanka යනුවෙන්ද මහා විහිලුවක් සේ රට තුළ ප්‍රචාරය කැරුණි.මෙම වැඩසටහන් වලට ලංකාවේ බොහෝ ප්‍රසිද්ධ නළු නිළියන් , දේශපාලකයන් , ජනප්‍රිය පුද්ගලයන් තරගකරුවන් සේ සහභාගි කරවා ඔවුන් ප්‍රසිද්ධියේම විකණීම මෙම පෞද්ගලික නාලිකා වල මුඛ්‍ය අරමුණයි. සේවාදායකයන්ගේ වෙළෙද දැන්වීම් වලින් ලබන ආදායමට අමතරව , උක්ත තරගකරුවන් ප්‍රසිද්ධියේ මහජනයාගෙන් හිගාකන කෙටි පණිවුඩ ගණනට ඒ ඒ දුරකතන ආයතන වලින් ලබාගන්නා කොමිස් මුදලද තම සල්ලි මල්ල තරකරගැනීමට පමණක් මෙම නාලිකා ක්‍රියා කරන බව මා හට නම් මනාව විද්‍යාමාන වේ. මේ සදහා කෙටි පණිවිඩ යවන අතේ පිච්චියක් නැති , එහෙත් අනුන් සැපවත් කරන මුග්ධ ජනතාවද අප අතර වේ. වෙසෙසින් ම මේවාට පෙළඹෙනුයේ , තරු වැඩසටහන් වල සිටිනා කඩවසම් තරගකරුවන් කෙරෙහි වශී වූ තරුණියන් වේ.
මාගේ අවධානය යොමු වූ අනෙක් කරුණ නම් "මෙගා ටෙලි " රැල්ලයි. ගැහැණුන්ගේ දුක් අදෝනා පමණක් ම පාදක කරගත් නිරන්තරයෙන්ම කාන්තාවන්ම ඉලක්ක කරගත් සිහළෙන් හඩ කැවූ ඉන්දියාවේ වසර ගණනක් පල් වී ආ කතාවන් හා ආකල්ප අප රටේ කාන්තාවන්ද වැළද ගත්තේ ක්ෂණයකිනි. ගැහැණුන්ගේ දුක දන්නේ ගැහැණුන් යන කතාව කියමින් අප රටේ මුග්ධ කාන්තාවන්ද මේ ටෙලිනාට්‍යයන් අඛණ්‍ඩව නරඹති. හෙට කතාවේ කුමක්ද වන්නේ යන්න තම ආයතනයේදී පවා කාන්තාවන් කතිකා කරගන්නා තරමට මෙගා නාට්‍ය උමතුව පැතිර ගොස් ඇත. එහෙත් කණගාටුවට කරුණ නම් මේ කතාවන් තුළින් අප රටේ කාන්තාවන්ගේ සිත් තුළට පිරිමි පිළිබදව වැරදි ආකල්ප ඇතුළත් කිරීමයි. එසේම ඕනෑම කතාවක තේමාව විය යුත්තේ "ආනන්දයෙන් ප්‍රඥාව කරා" යන්නයි. එහෙත් දැන් දැන් කලඑළි බසින ටෙලිනාටක වල සැගවුණු අරුත් නැත , ප්‍රහේලිකා නැත. ගත යුතු යමක්ද නැත. කළ යුතු බැවින් එදිනට සාදන පිටපතට ගිරව් සේ වචන පමණක් දොඩන නළු නිළි කැළ සහ සිතිය යුතු යමක් නොතබා ඒ දෙය සිතවන මෙවන් බොළද නිර්මාණ වලින් වැඩිහිටි සමාජයට හානියක් නැතත් තවමත් පූදින මල් කැකුළු වන් ළමා හා තරුණ පරපුරෙහි චින්තන රටාවන්ට කෙරෙන හානිය අතිමහත්ය. සිතීමේ සීමා මායිම් බිදිය හැක්කේ විවෘත හා නිරවුල් මනසකට බව ඔබට මා අමුතුවෙන් කිව යුතු නැත. බොහෝ දාර්ශනිකයන් තම ජීවිතය හුදකලාව ගතකිරීමට යොදා ගන්නේත් එසේම ඉතා උසස් නිර්මාණ බිහිකැරණුයේත් විවෘත හා නිරවුල් මනසකට උරුමකම් කියනා බැවිනි.
දකුණු ආසියානු කලාපයේ තිබූ හොදම පවුල් සංස්ථා ඒකකයට උරුමකම් කියන ලද්දේ ශ්‍රී ලංකාවයි . සිය පවුල සමග සතුටු සාමිචියේ යෙදීමත් දූ දරුවන් සමග ගැටළු නිරාකරණය කිරීමත් අපට අමුත්තක් වූයේ නැත. නමුත් දැන් දැන් දරුවන්/ පියඹ පියා/සැමියා ගෙදරට එන විට පෙරගමන් යන්නේ නැත , එවැනි සිරිත් විරිත් දන්නේද නැත . දෙමාපියන්ද දවස පුරා මුදල් උපයනු වස් වෙහෙසී නිවසට පැමිණ දරුවන් හා කෙළිදෙලෙන් සතුටු සාමීචියෙන් ගත කරන්නේ නැත. දෙමාපියෝ ද දරුවෝ ද සියල්ලෝ එකතු වී නිහඩව ඇස් ගෙඩි ලොකු කර රූපවාහිනිය දෙස බලා හිදිති. මේ සියල්ලන් කන්නේ , අදින‍්නේ රූපවාහිනිය ඉදිරිපිට විම මහත් වූ අභාග්‍යයකි.
අනුන්ගේ දුකකදී කදුලක් හෝ නොනගන සමහරු තම චිත්‍රපට වීරයාට කුමක් හෝ වුවහොත් ඉකි ගසමින් අඩති. චිත්‍රපට වීරවරිය සේ අඩනිරුවත් ඇදුම් අදිති. තම ජීවිතයද බොළද චිත්‍රපටයක් සේ ගෙවා දමති.මොවුන් දේශපාලන , ප්‍රබුද්ධ විචාර , ආගම් පොතපත හෝ කිසිදු අයුරක බුද්ධි වර්ධන පොතපත ඇසුරු කරන‍්නේ නැත. සියල්ල රූපවාහිනිය ලබාදෙන තුරු බලා සිටිති.
තවත් ගෙන හැර දැක්වීමට බොහෝ වෙතත් ඔබටත් සිතීමට හා අදහස් දැක්වීමට ඉඩතබා මෙයින් කරුණු දැක්වීම අවසන් කරමි.
ගොඩාක් සතුටුයි ගොඩාක් වැදගත් දෙයක් කියවන්න ලැබීම ගැන.
ReplyDelete