Thursday, March 28, 2013

බස් චණ්ඩි (Bus Thugs)

බසය : පෞද්ගලික 138 කොට්ටාව - පිටකොටුව
බස් අංකය : NC ****
වේලාව : ප:ව 6.50
දිනය : 23-03-2013

මම මාගේ මෑණියනුත් කැටුව ගම්පොළ බලා යෑමට මහරගමින් ඉහත බසයට ගොඩවීමු. කුමක් හෝ අමුත්තක් කොන්දොස්තර මහතාගෙන් දුටුවද , මා සුපුරුදු ලීලාවෙන් අම්මා සමග මා ළගදීම සිදුවන අලුත් අලුත් දෑ පිළිබද කතිකාවතක් පටන් ගතිමි. විටින් විට පරිසරයේ සිදුවන දෑ විමසමින් , අවධානයෙන් සිටි මා හට කොන්දොස්තර මහතාගේ ක්‍රියා කලාපය කොහෙත්ම හිතකාමී නොවන බව ඉවෙන් මෙන් අවබෝධ විය. හදිසියේම ලුම්බිණිය අසලදී බසයේ සීනුව දිගටම නාද වීමට පටන් ගත්තේ , කොළඹ පළාතට අලුත් වූ තරුණයෙකුට තම බස් නැවතුම වැරදුන බැවිනි. හිටිවනක් ම ලුණු කෑ අලියකු පරිද්දෙන් කිපුණු කොන්දොස්තර මහතා බසයේ ඉදිරි දොරටුවේ සිට පසුපස දොරටුවෙන් බසින කොලුවාගේ සවන් පතට තම අත්ල යොමු කළේය. “ච‍ටාස්!!!!!!!“. මෙම කිසිත් නොදත් කොලුවාට දෙලොව සිහි වන්නට ඇත. කළ හැකි දෙයක් නැති කමට තරුණයා කනද අල්ලාගෙන බැස යන්නට ගියේය. (නින්දිත නපුංසක කමද නැති නම් මහත්මා ගාන්ධීටත් වඩා අවිහිංසා වාදියෙක්ද යන්න මට තාමත් තේරුම් ගත නොහේ). රටක් රාජ්‍යයක් ජය ගත්තා සේ ආඩම්බරයෙන් කොන්දොස්තර මහතා බසයේ ඉදිරියට ඇදුනි. මාගේ සිහළ ලේ රත් වූයේ ෆුජියාමා ගිනිකන්දේ ලාවා කැකෑරෙනවාටත් වඩා උෂ්ණත්වයකටය. මා නැගිටින්නට හදනවාත් සමගම මාගේ මව් මාගේ අතින් ඇද නැවතත් මා ඉන්දෙව්වාය.

“යකෝ!!! මුන්ට බස් එකට සල්ලිත් දීල, මේ සක්කිලි හැත්තගෙන් බස් වල යන එවුන් ගුටි කන්න. අහුවෙයන්කො තෝ ..... පොඩි කාලෙ ඉදන් අම්මගෙන් බීපු කිරි වැටෙන්න දෙන්නේ.... ඒත් අම්ම ඉන්නවනේ... ශිහ්... කාලෙකින් අතපයේ හිරි ඇරගත්තෙ නැහැ..... සිංහල ලේ තියෙන එකෙක් නැද්ද මේ බස් එකේ “ මගේ හිත ගුගුලන්නට විය.

මෙම අසාධාරණය දුටු පසුපස පෙළෙහි ඇත්තන් දෙදෙනකු  කොන්දොස්තර මහතාට අමතුවේය. “මොකක්ද අර කරපු කැත වැඩේ? “. පිළිතුරු ලෙස  කොන්දොස්තර මහතා “ඒව තමුසෙලට වැඩක් නෑනෙ !! බැරිනම් බැහැල යනව“ කීවේය.
“දෙන්න හිතෙනව මූට , මුගෙ අම්මට උණ ගැනෙන්න“ මගේ හිත ගුගුලයි.

පසුපස පෙළෙහි මිනිසුන් කොන්දොස්තරට එරෙහි වන්නට විය. “තමුන්ට කිසි අයිතියක් නැහැ මිනිහෙක්ට ගහන්න. අනිත් එක මේවයෙ මිනිස්සු නිකන් යන්නේ නැහැ“. තරුණයකු පැවසීය. කොන්දොස්තරට තමා පොට වරද්දගත් බව පසක් වුවත් තම චණ්ඩි කම අත හැරියේ නැත. 

මට තව දුරටත් ඉවසා සිටිය නොහැකි විය. ඉවසීමේ සීමාව පෙනෙන ඉමකවත් නැත. බෑගය අම්මාගේ ඔඩොක්කුවට දමා , අම්මාගේ අතත් ගසා දමා නැගිටුයෙමි. කොන්දොස්තර ළගට පිනූ මම , කොන්දොස්තරයාව පිටුපස දොර අසළ කොටුකර ගතිමි.

“මොකක්ද පරය අර කරපු වැඩේ!! තෝ හිතං ඉන්නේ තෝ මහ චණ්ඩියෙක් කියලද? පුලුවන්නම් තියපිය බලන්න මට අතක්“ කියමින් මම දිගටම සීනුව නාද කළෙමි. “තොපි කාලා බීල ඉන්නෙ අපි තොපිට දෙන සල්ලි හින්ද , නැත්තම් තොපි මහපාරෙ මේ වෙනකොටත් හිගාකාලා මැරිල ! පරයා ... හු!@#$% ගෙ පුතා උඹ දැන ගනින් මේ බස් වල යන්නේ පොන්නයො නෙමේ කියල. මේ බස් එක තොපි මේ පාරෙ දුවන්න ඕනි. තොපි වැඩිය සෙල්ලම් දාන්න එපා!! “ . මම මදක් සන්සුන් වීමි. මක් නිසාද මේ කේන්තිය පිට එක පාරක් හෝ කොන්දොස්තරට වැදුනා නම් කුමකින් කුමක් වේ දැයි දෙපාරක් සිතූ බැවිනි. N.T.C ට හා 119 කතා කොට පැමිණිල්ලක්ද දැමීමි. 

නමුත් හොදම දේ නම් , මා අනුමත කළ අනෙකුත් මගී ජනතාව , බසය කොටුවට යන තාක්ම බස් නැවතුමකදී හැරෙන්න කිසිදු අයුරකින් කෙනෙකු බසයට නංවා ගැනීමට ඉඩ නොදීමත්.. සිද්ධීය වූ වේලාවේ සිටි මගී ජනතාව බසයෙන් බැස යන විට මටත් පසුපස පෙළෙහි තරුණයන්ටත් ආචාර කර හෝ ස්තුති කර බැස යෑමත් වේ.

මගී ජනතාවනි අවදි වන්න. අපගේ අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටිමු. 

Friday, March 22, 2013

බඩගිනි සීයා

පෙර දිනෙක මා නුවරඑළියේ සිට අගනුවරට ඒමට පිටත් වීමි. නුවරට යෑමට සිත් නොවූ බැවින් පේරාදෙණිය මංසන්ධියෙන් බැස කොළඹ බස් නැවතුම් පළෙහි බසයක් නවතන තුරු බලා සිටියෙමි. සංකීර්ණ වූ සමාජයේ තම තමාගේ පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීමට අතෝරක් නැතිව වෙහෙසෙන “ දුක්පත් “ ජනයා දෙස සානුකම්පිතව බලා සිටින අතර තුර පේරාදෙණිය මංසන්ධිය දෙසට වන්නට බස් නැවතුම් පළෙහි දුටු යමෙකින් මාගේ සිතිවිලි සමුදාය මදකට නතර විය. එක් වැහැරුණු මහල්ලෙක්  බස් නැවතුම් පළෙහි සිටගෙන සිටිනා සියල්ලන් වෙත අත පා යමක් ඉල්ලා සිටින අයුරක් මා හට දර්ශනය විය. ශ්‍රී ලාංකේය ජන සමාජයේ බෞද්ධයාගේ මුදුන් මල් කඩ වන් , ශ්‍රී මහේශාඛ්‍ය ගෞතම බුදුන්ගේ දක්ෂිණ අකු ධාතුව තැන්පත් කර ඇති නුවර පින් බිමේ මේ අසරණයාට උදව් කිරීමට  බස් නැවතුම් පළෙහි සිටි සිංහල , දෙමළ , මුස්ලිම් ආදී වූ සියලු ජනයා හට වුවමනාවක් නොවූ අතර , මේ මහල්ලාද සියල්ලන් වෙත අත පාමින් ක්‍රමයෙන් මා වෙතද ලගා විය. මා අසල වූ තරුණයා ක‍ණෙහි i-pod ඇබයක් ගසා සිටියේ  මහල්ලා ඇසෙනු විනා ඇස් දෙකද අන්ධ වූවා සේ කිසිත් නොකොට ආත්මයක් , මනසක් නොවූ ගන්ධබ්බයකු සේ වැනි වැනී සිටියේය.

අනතුරුව මා ළගට වන් මහල්ලා තම දෑතම මා හට පෑවේය. මහල්ලා කෙරෙහි මහත් දුකක් මගේ චිත්ත සන්තානයේ උපන් බැවින් මා මෙසේ ඇසීමි.

 “මොකද සීයේ ? මොනවද ඕනි ?“

මහා වාලුකා කතරෙක ක්ෂෙම භූමියක් දුටු කළෙක මෙන් ක්ෂණිකව නව පණක් ලද මහල්ලා ,

“අනේ මහත්තයෝ ඊයේ දවල් ඉදල බඩට කෑමක් වැටුනෙ නෑ. පුළුවනි නම් කෑමක් ගන්න කීයක් හරි දෙන්න“ යයි කීවේය.

මගේ හදවත දැවී ගියේ ජපානයේ හිරෝෂිමා , නාගසාකි නගර පරමාණු බෝම්බයෙන් දැවී ගියාටත් වඩා ක්ෂණිකවය. අනේ අපි වැනිම තවත් මනුෂ්‍ය ප්‍රාණයක් තම ජීවිතය රැකගැනීමට තම ආත්ම ගරුත්වය පසෙක තබා තවෙකුකට අත පානා සැටි. 

“යමු සීයේ. මා ළග නම් එච්චර සල්ලි නැහැ.ඒත් යමු මම මොනව හරි කන්න අරන් දෙන්නම් “

මම සීයාත් කැටුව ලගම පිහිටි සයිවර් කඩයකට ගොඩ වැදීමි. කඩේ නානා “ මාත්තියා මොනවද කන්නේ“ කියමින් පෙරගමන් ආවත් සීයා දුටු කල මදක් පිළිකුල් ව පසුබැසීය. “ශේ ශේ උදේ පාන්දරම බිස්නස් සවුත්තු කරන්න ඇවිත්. යෙන්න යෙන්න“ කියමින් සීයා කඩෙන් එළවා දැමීමට සැරසෙද්දී , මම නානාට බාධා කරමින් “මේ මහත්තයට කැමති ඕන දෙයක් කන්න දෙන්න. “ කඩයේ තිබූ හොදම මේසය සහ පුටුවට සීයාව යොමු  කළෙමි. වේටර් කොළුවාද වඩේ ඇතුළු සියලු දෑ අඩංගු බන්දේසියක් මේසය මත තැබීය. නානා සීයගේ තසිමට සම්බෝල බෙදුවේය. ඉනූ කදුලු ඇතිව සීයා වඩයක් අතට ගෙන මා දෙස අසරණ ලීලාවෙන් බැලීය. “කන්න සීයේ. ඇතිවෙනකන් කන්න“. වඩයක් කෑමෙන් අනතුරුව මම සීයාට කීමි. “එක වඩයක් හොදටම සෑහෙනව මහත්තයෝ . පුළුවන්නම් මට තේ එකක් අරන් දෙන්න“. මම නානාට තේ එකක ඇනවුම ලබා දී රුපියල් සියයේ නෝට්ටුවක් දික් කළෙමි. එවිටම නුවර කොළඹ බස් රථයක්  බස් නැවතුම් පළෙහි නැවතීය. මම සීයා ළගට ගොස් “සීයේ තව මොනව හරි ඕනි නම් කියන්න . මගෙ බස් එක ආවා. මම යන්න ඕනෑ“ කීවෙමි. 

“තව මොනවත් එපා මහත්තයා! මහත්තයට බුදු සරණයි! මහත්තයව හැදුව දෙමව්පියන්ට පින් ලැබෙන්න ඕනා! යන එන ගමන දළදා හාමුදුරුවො රැක ගනිවි“
සීයාගේ ඒ පැතුම දෙසවනේ රැව් පිළිරැව් දෙද්දී , මගේ රත්තරන් දෙමාපියන් සිහිකරමින් , සියල්ලන්ටම සෙත් වේවායි සිතමින් බසයට ගොඩ වීමි.