Friday, January 24, 2014

අන්තර්ජාලයේ දත්ත සොරකම් කිරීමේ අලුත්ම කලාව

පසුගිය දිනෙක මා හට අපූරු ඇරයුමක් Gtalk හරහා ලැබුණි. වරක් දෙවරක් මෙය ප්‍රතික්ෂේප කළේ මෙහි කාන්තාවකගේ පපු පෙදෙසෙහි අඩනිරුවත් ඡායා රුවක් තිබුණු බැවිනි. මෙහි ඊමේල් ලිපිනය ලෙස parente466@gmail.com ලෙස තිබුණි. කෙසේ වෙතත් අවසානයේදී මෙම ලිපිනය අයත් පුද්ගලයා ගේ අබිලාෂය කුමක් දැයි දැනගැනීමට මම මේ ආරාධනය පිළිගතිමි. මෙය පටන් ගත් තැන පටන්ම විවිධාකාරයෙන් ලිංගිකත්වය ඉලිප්පෙන පරිදි විවිධ වාක්‍ය ඛණ්ඩයන් මා වෙත නිරතුරුවම ලැබෙන ලදී. ඉන් කිහිපයක් මා උදාහරණයක් ලෙස පහත දක්වමි.

  • Im bored and wanted to meet new people...24/female .... you?
  • Was up there....
  • Hello :-)??
  • Im feeling Naughty. Want to have sum fun ?? =)
මේ ඒ අතරින් කිහිපයකි. ඉන් අනැතුරුව මා හට අඩනිරුවත් ඡායා රූ වල ලින්ක් එවනු ලැබූ අතර මේ තැනැත්තා හට තවත් ඉවසනු නොහැකි යැයිද මා හට දෙන ලද නිල් වෙබ් අඩවියක වීඩියෝ සංවාදයකට එන ලෙසද ඇරයුම් කරන ලදී. එහිදී මා හට සුවිසල් සැකයක් පහළ විය. ඉන් අනැතුරුව මා skype හෝ gtalk හි විඩියෝ සංවාදයකට ආරාධනා කළද එයින් ප්‍රතිඵලයක් නොවින. අනතුරුව සබඳතාව විසන්ධි වුවද පසු දිනද පෙර ලෙසම මා හට පණිවුඩ ලැබෙන ලදී. එකම පණිවුඩ විවිධාකාරයෙන්!

පසුව මා හට දැනුණ පරිදි, මෙය බොහෝ විට පරිගණක වැඩසටහනක් විය යුතුමය. මෙමගින් පුද්ගලයන් ලිංගිකත්වයට පොළඹවා නිල් වෙබ් අඩවි වලට ලියාපදිංචි වීමෙන් , මොවුනට කොමිස් ගාස්තුවක් ලැබෙනු ඇතැයි අනුමාන කළෙමි. දෙවැනුව එම නිල් වෙබ් අඩවිය මාගේ වෛරස ආරක්ෂකය මගින් බ්ලොක් කර ඇති නිසා එය අනිවාර්යයෙන්ම භාවිත කරන්නාගේ දත්ත සොරකම් කරන වෙබ් අඩවියක් විය යුතුමය. තෙවනුව මෙය ඔබ වීඩියෝ සංවාදයේදී රහසින් පටිගත කෙරෙනු ඇත. තවද ඔබගේ අතිශය රහස්‍ය දත්ත , විශේෂයෙන් ක්‍රෙඩිට් කාඩ් පත් දත්ත මගින් වංචා කිරීම් සිදු කිරීමද පුළුවන.

මෙවන් නවතම උපක්‍රම අන්තර්ජාලය ඔස්සේ පැතිරෙන යුගයක , ඔබත් මේ පිළිබඳව දැනුවත්ව සිටීම වටිනේ යැයි සිතුන නිසා මෙය ලීවෙමි. 

Wednesday, January 8, 2014

පිරිමි ලැප්ටොප් භාවිතා කරන්නේ බලාගෙනයි!


වර්තමානයේදී ජංගම පරිගණක හෙවත් ලැප්ටොප් පරිගණක භාවිතය සිඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. ලැප්ටොප් පරිගණකය නිර්මාණය වීම ඇත්තෙන්ම තාක්ෂණයේ ඉදිරි පිම්මක් වුවද , නිවැරදිව ලැප්ටොප් පරිගණක භාවිතා නොකිරීම මගින් පිරිමින් වඳ භාවයට පත්වීමේ අවධානමක් ඇති බව විද්‍යාඥයන් පෙන්වා දෙති. 

ඕනෑම පරිගණකයකින් තාපය නිපදවන අතර එය සිසිලනය සඳහා වෙනම විදුලි පංකා සහිත සිසිලන පද්ධතියක් තිබේ. එහෙත් ඒ හා අවට උපාංගද , පරිගණකයේ ආවරණයන්ද මෙම තාපය නිසා උණුසුම් වේ. මෙම කවරයන් හා උපාංගද වාතය මගින් සිසිලනය වන අතර ඒ හා සමීප වස්තූන් ද විකිරණය මගින් උණුසුම් කරයි. පිරිමින් තම කළවා මත මෙම ලැප්ටොප් පරිගණකය තබාගෙන එය සමග අන්තර්ක්‍රියා කිරීමේදී, කළවා මෙන්ම වෘෂණ කෝෂ ද උණුසුම් වේ. වෘෂණ කෝෂ සෙල්සියස් අංශක 2-3 අතර ප්‍රමාණයකින් වැඩිවීම ශුක්‍රාණු විනාශ වීම, විකෘත වීම ට ඉවහල් වේ. 

ඇත්තෙන්ම වෘෂණ කෝෂ උෂ්ණත්වයට අති සංවේදී වේ. එමෙන්ම වෘෂණ කෝෂ ශරීර උෂ්ණත්වයෙන් සෙල්සියස් අංශක 3-4 අතර පහළ අගයක පවතියි. බාහිර පරිසරයේ උෂ්ණත්වය අඩු වූ විට වෘෂණයන් ශරීර කුහරයට ආසන්න වන අතර වැඩිවූ විට ලිහිල් වී එල්ලා වැටේ. එහෙත් මෙම එල්ලා වැටීම සිදු කළ හැකි උපරිම දුරක් ඇත. එබැවින් ලැප්ටොප් භාවිතාව වැනි දේ නිසා වෘෂණයන් හි උෂ්ණත්වය ඉහළ යෑම වෘෂණයන්ට කොහෙත්ම දරාගත නොහැකි වේ. 

එබැවින් ලැප්ටොප් පරිගණක භාවිතාවේදී කළවා මත නොතබාගෙන සිටීමට හැකි තරම් උත්සහ කරන්න. මෙය ඔබ දරුවකු පිළිසිඳ ගැනීමට බලාපොරොත්තු වන කාලයේදී කිසි සේත්ම නොකිරීමට වගබලාගන්න.