Monday, October 28, 2013

නැවතත් අවධානය යොමු කළ යුතු ජාත්‍යන්තර පාසල් පද්ධතිය

නීති පොත් සහ නීති ඉතිහාසය වෙනස් කරමින් , අති විශිෂ්ට ගණයේ නඩු තීන්දුවක් ලබා දුන් , රෝයල් පාර්ක් මිනිමැරුම , ජනතාවට එරෙහි ජූඩ් ශාමන්ත නඩුවෙහි උණුසම තවමත් වියැකී නැත. අති කෘෘර අමානුෂික අයුරින් කාන්තාවක් ඝාතනය වී ඇත. විත්තිකරු සාධාරණ සැකයෙන් ඔබ්බට , නවතම විද්‍යාත්මක , එකම සාක්ෂිය මගින් වැරදිකරු බවට ඔප්පු කර ඇත. ජනපති නියම කැරෙන දිනයකදී මෙම සිත් පිත් නැති ඝාතකයා ප්‍රාණය නිරුද්ධ වනතුරු ගෙල වැල ලා එල්ලා තබනු ඇත. මෙය අයිස් කන්දේ මතුපිට තත්ත්වයයි. එහෙත් ගැටළුව තවමත් පහව ගොස් නැත. ලෙඩේට පමණක් බෙහෙත් කොට ලෙඩා මැරෙන්නට හැරීමෙන් පලක් නැත. ඇත්තෙන්ම ගැටළුව ඇත්තේ ඔවුන් හැදී වැඩුනු සමාජයයි. මෙම ගැටළුවට ආමන්ත්‍රණය නොකොට මෙවැනි වූ අපරාධ , සමාජ පිරිහීම වළකනු නොහැකි වනු ඇත.

මුදලට විකිණෙන මෙම සමාජයේ , ඇස්. බී වැනි ඇමති වරු සූදුව “ හොඳායි!!“ කියත්දී වර්තමාන සමාජ රටාව කුමක්දැයි තේරුම් ගැනීමට මොනවට උදාහරණ අවැසි දැයි සිතේ. ඇත්තෙන්ම වර්තමාන ආණ්ඩුවද දැවෙන ගැටළු ආමන්ත්‍රණය කිරීමට අපොහොසත් වී ඇත. ජනතාවගේ බදු වලින් ජීවත් වන ආණ්ඩුව නිසි අයුරින් එම ආදායම , නිසි අයුරින් ආයෝජනය කළ යුතුව ඇත. එහෙත් පරිපාලනය කෙතරම් දුර්වලද කියතොත් මේ වන විට “මිහින් ලංකා“ ආයතනය රුපියල් බිලියන 8.3 ක අලාභ සහිත “සුදු අලියකු“ වී ඇත. ඉතින් කෙසේ නම් අපි ගොඩ යමුද? යමක් ලාභ ලැබීමට පෙර , අලාභ ලැබීම නතර කළ යුතුය. දැන් අපේ බදු ගඟට කැපූ ඉනි සේ නිකන්ම අපතේ යෑමක් සිදුවී ඇත. කෙසේ වෙතත් මුදල් ඉපැයීමේ අරමුණින් ම බිහි වූ ජාත්‍යන්තර පාසල් පද්ධතියේ හරයන් ඇත්තෙන්ම සමාජයට වින කෙටීමක් මිස වෙනත් යමක් සිදු නොවේ.

ඇත්තෙන්ම මව් බස වූ සිංහලයට දැන් ඇති තැන කුමක්ද? සියලුම පෞද්ගලික ගුවන් විදුලි සහ රූපවාහිනි නාලිකා වල සේවය කරන නිවේදක නිවේදිකාවන් , එක්කෝ උපතින්ම රූමත් මෝඩයන්ය නැතහොත් සල්ලි වලට ඇඟ විකිණූ අයය. ඇත්තෙන්ම පෙරදී පෞද්ගලික රේඩියෝවක් ඇසීමට ප්‍රිය මා දැන් ඒවාට වෛර කරමි. මක් නිසාද ඒවායේ බුද්ධියට ආමන්ත්‍රණය කෙරෙන කිසිදු වැඩසටහනක් නැති බැවිනි. ඇතැම් නාලිකා මධ්‍යස්ථ වශයෙන් තත්ත්වයක් පවත්වාගෙන ගියද බහුතරයක් හුදු පුහු වින්දනය සඳහාම වෙන් කොට , මුදල් ලබා දී බලයෙන්ම රේඩියෝ අසවා ගන්නා අබුද්ධස්ස යුගයක් බිහිවී ඇත. මේ සියල්ලටම හේතුව පරිපාලනය ගෙන යන නිළධරයන් බොහෝ දෙනකු ලාංකේය හරය , අනන්‍යතාවය  නොදන්නා , තම දරුවන් වුවද විකුණා මුදල් සෙවීමට කෑදර අය වෙති. කෙසේ වෙතත් ජූඩ් ශාමන්ත , ඉවෝන් , කැරලයින් යන තිදෙනාම එකම ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලැබූවෝ වෙති. මෙම සිද්ධිය මාධ්‍ය මගින් කෙසේ උලුප්පා දැක්වුවත් එහි හරය මෙසේය.

සොයුරියන් දෙදෙනකු වෙති. ඔවුනගේ පියා ධනවත් විදේශිකයෙකි. මව ලාංකේය කතකි. දෙදෙනාම විදෙස් ජානගත වූ බැවින් විදෙස් යුවතියන් මෙන් රූ සපුව වූහ. තවත් තරුණයකුද මෙම පාසලෙහි විය. ඔහු කුඩා කලම දෙමාපියන් විරසකව දෙපසකට වී සිටියහ. මෙම තරුණයාගේ පියාද ධනවතෙකි. සල්ලාල කමෙහි අඩු නොවූ ධනවත් දරුවන් සුරාව , සූදුව, ගණිකාවන් , ලිංගිකත්වයට ඇබ්බැහි වී සිටිති. මෙම තරුණයාද එසේමය. පෙර සඳහන් කළ තරුණියන් දෙදෙනාගෙන් වැඩිමහල් තරුණිය මෙම තරුණයා සිටි වසරේම විය. රාත්‍රී සමාජ ශාලා මොවුනගේ ජීවිතය විය. රාත්‍රී සමාජ ශාලා ගැන කතා කරන විට , මටද එක් අත්දැකීමක් මතක් වේ.

 මා සේවය කළ ආයතනයේ ගිවිසුම් කාලය අවසන් වීමෙන් පසු , ආයතනයට සමුදුන් දවසේ පැවැත්වූ සාදයකදී මා හට කාර්යාල මිතුරෙකු මෙවන් සමාජ ශාලාවකට යෑමට ආරාධනා කළ අතර මෙවන් අත්දැකීමක් කෙදිනකවත් නොලැබ සිටි මම එයට කැමැත්ත දුනිමි. අඳුරේම තුන්සක රියක මෙම සමාජ ශාලාව වෙත ඇදුන අපිට පිටට කිසිවක් නොපෙනුනද “බුම් බුම් “ හඩින් ඇතුළේ ඇති ඝෝෂාකාරි , එහි බිත්ති ද බිඳගෙන පිටතට ඇසුනි. ඇතුළට පිවිසෙනදොරටුව අසල හැඩිදැඩි තරුණයන් කිහිපදෙනෙකු කඩවසම් අයුරින් ඇඳසිටි අතර ඔවුන් ආරක්ෂකයන් බව , පළපුරුදු මාගේ මිත්‍රයා පැවසීය. ඇතුළට පැමිණි  විටම  තම විලි යාන්තමට වසාගත් තරුණ කාන්තාවන් අපගේ අත්වල එල්ලුනේ තම ජීවන සහකාරයා දුටුවාක් මෙනි. මා එය පිළිකුල් කළ අතර මාගේ අතෙහි එල්ලුන කාන්තාව කාරුණිකව ප්‍රතික්ෂේප කළෙමි. ඇතුළත මිහිපිට අපායක් බඳු විය. තැන තැන බමන මතින් සිටින කාන්තාවන් සහ පුරුෂයන්ය. ඇතැම් අය ඝෝෂාකාරී සංගීතයට වැනෙමින් සිටියහ. ඇතැම් සේවිකාවන් ධනවත් තරුණයන්ට මත්පැන් වක්කරමින් ඔවුන්ට තවත් බීමට දිරි දෙමින් සිටියහ. ඇත්තෙන්ම මෙය විනෝදයක් නොවන බව මටත් මාගේ තවත් මිතුරෙකුටත් පසක් වන විට අප සමග ආ අපගේ පළපුරුදු මිතුරා සහ විනෝදයට බර තවත් මිතුරෙක් “වැඩ අරඹා“ තිබින. මත්වතුර බෝතල් දෙකක්ද අතින් ගෙන අතෙහි එල්ලුන කාන්තාවන් සමග අනඟ නැටුමක නිරත වූහ. අප කෑමට යමක් ඇනැවුම් කර අපගේ මිතුරන්ගේ විනෝදය අවසන් වන තුරු සිටියහ. රාත්‍රි 2 පසු වන තුරුද මොවුන් හට නිවෙස් වලට යෑමට තරම් සිහියක් නොතිබුනද අවසානයේ මොවුන් ඇදගෙන යාමට හෝ තීරණය කර , ගෙවීම සඳහා බිල් පත ඉල්ලා සිටියෙමු. එහි අවසානයේ තිබූ ඉලක්කම් දැක , මත් වතුර තොළ නොගෑ මට බමන ගතියක්ද දාඩියද දමන්නට විය. 15,000 ! එහෙත් බමන ගතින් සිටි මාගේ පළපුරුදු මිතුරා තම ක්‍රෙඩිට් කාඩ් පතින් එය ගෙවා දැම්මේ ඔහු මේ ජීවිතයේ ඇට්ටර වූ අයෙකු බව අප හට මොනවට පසක් කර දෙමිනි. අදටත් මම රාත්‍රී සමාජ ශාලා වලට වෛර කරමි.

පෙර කතා පුවතේ තරුණියන් සහ තරුණයා අතර හාදකමක් ඇතිවන්නට ඇත. විශේෂයෙන් වැඩිහිටි තරුණිය සමග තහනම් ගහේ ගෙඩි කන්නටද ඇත. පසුව වැඩිදුර අධ්‍යාපනය සඳහා විදෙස් ගත වූ වැඩිමහලු තරුණියගේ පාලුව මකන්නට බාල සොහොයුරිය යොදාගෙන ඇය සමගද තහනම් ගහේ ගෙඩි කා ඇත. පසුව ලංකාවට නැවත පැමිණි වැඩිමහල් සොයුරිය , සිය නැගණියද තරුණයාද කැටුව රාත්‍රී සමාජ ශාලාවකට ගොස් ඇති අතර එහිදී බහින් බස් වීමක් සිදු වී ඇත. තමාවද පාවිච්චියට ගෙන දැන් තම නැගණියද පරිහරණය කරන මෙම තරුණයා පිළිබඳ වෛර සිතක් , වැඩිමහලු තරුණියට නැගෙන්නට ඇත. කෙසේ වෙතත් පිරිහුණු සමාජයක ගොදුරක් බවට පත් වූ මේ චරිත තුනෙන් එක් චරිතයක් කතාවෙන් ඉවත් වන්නේ අමානුෂික ලෙස ඝාතනය වීමෙන් පසුවය. දැන් තවත් චරිතයක් පෝරකය පෙනෙන මානයේ සිටියි. දැන් ඉතිරිව සිටිනුයේ කයෙනුත් මනසිනුත් පසුතැවීමට පත් බාල සොහොයුරිය පමණකි. ඇත්තෙන්ම මෙම සිදුවීම් පෙළට වගකිව යුත්තෝ කවරහුද ?

දෙමාපිය වරද මෙහි ප්‍රධානත ම කරුණයි. හැදුන වැඩුන ලාංකේය දූ පුතුන් , තම සංස්කෘතිය සදාචාරය දත්තෝය. මෙම සංස්කෘතිය සදාචාරය උගැන්වෙනුයේ තම දෙමාපියන් විසිනි. තවද තම හෘද සාක්ෂිය විසින් අනුමත නොකෙරෙන දේ කිරීමට සංවරව හැදුනු අය ලජ්ජා වෙති , බය වෙති. මා දන්නා ධනවත් දෙමාපියන් සිටින දරුවන් අතළොස්සක් සංවර විනීත , පොළොවේ පය ගසා ජීවත් වන දානපතියන් වෙති. ඒ හොඳ දෙමාපිය ඇසුරයි. දෙවැනි කරුණ නම් ඇසුරු කරන්නා වූ සමාජයේ ගුණාත්මක බවයි. අපගේ ගිරා පෝතක ජාතකයේ මෙන් හොඳ ඇසුර හොඳ අයෙකු බිහි වීමටත් , නරක ඇසුර නරක අය බිහි වීමටත් බලපායි. ඇත්තෙන්ම නරක ඇසුර තිබුණත් හොඳ අයෙකු වන්නේ , කණ කැස්බෑවා විය සිදුරෙන් ඉර දකිනවා හා සමාන සම්භාවිතාවකිනි. තෙවන කාරණය නම් තමා ඉගෙන ගන්නා පරිසරයයි. ආගම දහමට ලැදිව නිවැරදි අධ්‍යාපනයක් හදාරන්නෙකු බොහෝ විට නරක ඇසුරට නෙම වන්නා සේම අනෙකෙකුට නපුරක්ද නොකරයි.

එහෙත් අධ්‍යාපනය ම පමණක් අරමුණු කරගත් , හර ගුණාංගයන්ට ඉඩ නොදෙනා , ලාංකීය බව නොහඳුනන මුදලට යට වුනු බොහෝ ජාත්‍යන්තර පාසල් සමාජයට දායාද කරනුයේ පිළිල  හෝ වෛරස වේ. තම ධාරකයාද විනාශ කරමින් සිය ගණනින් ගුණනය වන මෙවන් දේ නිසා ආසියාවේ මුතු ඇටය විනාශ මුඛයට යනු ඇත. ධනවත් දෙමාපියන්ගේ තත්ත්වය පෙන්වීමටද , එය තම සුඛෝපභෝගි භාණ්ඩයක් ලෙසද මෙම ජාත්‍යන්තර පාසල් භාවිත වේ. දරුවකුගේ වරදක් දුටු තැන දඬුවම් දීමට මෙම පාසල් වල ගුරුවරු මැලි වනුයේ දරුවන්ට තිබෙන ආදරය නිසා නොව , පාසල නඩත්තු කිරීමට එම දරුවාගේ දෙමාපියන් දෙන ආධාරයන් අහිමි වන බැවිනි. එවිට ගුරුවරු ළමයින් හරි මග යවනවා වෙනුවට , දෙමාපියන් ගුරුවරුන්ව හසුරවන තත්ත්වයක් උද්ගතව ඇත. විනය බින්දුවට බැස ඇත. මුදල් වලින් හැම දෙයක් ම ගත හැකි බව මොවුහු සිතා සිටිති. මෙම තත්ත්වය සමාජ කතිකාවතක් විය යුතු බව මාගේ මතයයි! ජාත්‍යන්තර පාසල් රටකට අවැසිය. එහෙත් එහි හර පද්ධතීන් යාමනය කිරිමට නිසි අධිකාරියක් තිබිය යුතුමය. එසේම සල්ලිකාර සෙල්ලක්කාර දූ පුතුන්ට මා දෙන අවවාදය නම්,

සල්ලි වලට ගැහැණියෙක් ගත්තද බිරිඳක් මිලට ගත නොහැක,
සල්ලි වලට කාමය මිලදී ගත්තද ආලය මිලට ගත නොහැක,
සල්ලි වලට දරුවකු ගත්තද සුජාත දරුවකු බිහිකළ නොහැක,
සල්ලි වලට උගෙන ගත්තද සාරධර්ම මිලට ගත නොහැක,
සල්ලි වලට තාවකාලික සතුට මිලට ගත හැකි වුවද සදාතනික සතුට ලබා ගත නොහැක.


No comments:

Post a Comment