Monday, June 30, 2014

ලංකාවේ පෞද්ගලික බස් ප්‍රවාහන මාෆියාව

පසු ගිය දිනෙක පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ලේකම් විසින් ප්‍රසිද්ධ මාධ්‍යයට ප්‍රකාශයක් කරන ලදී. එනම් ජූලි මස දිනකදී බස් ගාස්තු සංශෝධනයක් නොවුව හොත් සියලුම බස් රථ වර්ජනය කරන බවකි. එසේම ජා.ග.ග.කො.ස සභාපති කියා සිටියේ , සංශෝධනය සඳහා අවශ්‍ය කරුණු වලින් බොහොමයක් අවශ්‍ය මට්ටමට වඩා අවමයක පවතින නිසා බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නොවන බවයි.

මුදලට කෑදර පෞද්ගලික බස් රථ හිමියනි තොපිට ඕනි අහිංසක දුප්පත් අපිව හූරගෙන කන්නද?

කෙසේ වෙතත් නැගිය යුතු ප්‍රශ්නයක් ඇත. තමාගේ අයිතිවාසිකම් ඉල්ලීමට මේ පෞද්ගලික බස් රථ හිමියන් තම යුතුකම් නිසි ලෙස ඉටුකරයිද? පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ලේකම් පවසන පරිදි “ යම් කිසි මාර්ගයකින් බස් වර්ජනයකට ගියහොත් , මගී ජනතාවට වෙන අපහසුතාවයෙහි වගකීම ජා.ග.ග.කො.ස සභාපති ගතයුතු බවයි“. මෙය නිවැරදි යැයි මඳකට සිතමු. එහෙත්  පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ලේකම් හෝ බස් රථ හිමියන් හෝ රියැදුරන් හෝ කොන්දොස්තර වරුන් නිසි ආකාරයෙන්ම මගීන්ට සලකන්නේද? මේ කිසිවක් අධ්‍යයනය කිරීමට පළමුව මගී ජනතාවට ඇති අයිතීන් පිළිබඳව ඔබ දැනුවත් කිරීමට සිතමි.   ජා.ග.ග.කො.ස නිළ වෙබ් අඩවියට අනුව මගී ජනතාවට ඇති නෛතිකමය අයිතීන් පහත පරිදි වේ.

  • බස් නැවැතුමෙන් බස් රථය පිටත් වීමට පෙර , ඔබගේ ගමන ආරම්භයේදීම ඔබ ලබාදෙන මුදලට සරිලන ටිකට් පතක් ලබා ගැනීම සඳහා ඔබට අයිතියක් ඇත.
  • ඔබ බසයට ගොඩ වූ ස්ථානය, බසයෙන් බසින ස්ථානය, බස් වියදම සහ දිනය, බස් රථයේ අංකය සඳහන් වූ ටිකට් පතක් ලබා ගැනීමට ඔබට අයිතියක් ඇත.
  • ඔබ මුදල් ගෙවූ ගමනාන්තයට සුරක්ෂිතව ගමන් කිරීමට ඔබට අයිතියක් ඇත.
  • ඔබට ආචාරශීලී, සුහද පිළිගැනීමක් විනීත හොඳින් හැඳපැළඳ ගත් රියැදුරුගෙන් සහ කොන්දොස්තරගෙන් ලබා ගැනීමේ අයිතියක් ඔබට ඇත.
  • බසය සාමාන්‍ය සේවයක් නම් අවුරුදු 3 සිට 12 දක්වා වයස ඇති දරුවන් හට වැඩිහිටින්ට අයකරන මුදලින් භාගයක ටිකට් පතක් ලබා ගැනීමේ අයිතිය ඇත.
  • බසය සුඛෝපබෝගි සේවයක් නම් , වායු සමන පහසුකම විඳීමටද අනුමත මගීන් සංඛ්‍යාවකට නොවැඩිව නංවා ගත් සේවයක් අත්විඳීමටද ඔබට අයිතියක් ඇත.
  • පොදු ප්‍රවාහනයේදී දුම් බීම තහනම් වේ. සිගරට් දුමින් තොර පරිසරයක ගමන් කිරීමට ඔබට අයිතියක් ඇත.
  • අධික වේගයෙන් රිය පැදවීම, අපරික්ෂාකාරීව රිය පැදවීම , මාර්ග නීති කඩකරමින් රිය පැදවීම ආදියට විරුද්ධ වීමට ඔබට අයිතියක් ඇත. එසේම රියැදුරා රිය පැදවීමේදී ජංගම දුරකතන භාවිතයට විරුද්ධ වීමටද ඔබට අයිතියක් ඇත.
  • බසයේ රේඩියෝව ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් පමණක් ලෙස භාවිත වන පරිසරයක ගමන් කිරීමට ඔබට අයිතියක් ඇත. එසේම එහි ශබ්දය ඩෙසිබල් ඒකක 80 නොඉක්මවන පරිසරයක ගමන් කිරීමටද ඔබට අයිතියක් ඇත.
  • බලපත්‍ර ලබා දීමේ දෙපාර්තමේන්තුවේ අධිකාරිය යටතේ ධාවනය වන බස්රථ වලදී , එය ධාවිත තත්වයේදී බස්රථයේ දොර වසා ඇත් දැයි සැකහැර දැනගැනීමට ඔබට අයිතියක් ඇත.
  • මුදල් ලබා දී ගමන් ගන්නා මගියා බස් රථයේ සිටිනා වටිනාම පුද්ගලයා වේ. ඔහුට/ ඇයට  කාරුණික සුහදශීලි සේවාවක් ලැබීම ඔහුට/ ඇයට උරුමය.
  • මතින් තොර පුද්ගලයෙකුගෙන් සේවාව ලබා ගැනීමට ඔබට අයිති වාසිකමක් ඇත.
  • අර්ධ සුඛෝපබෝගී බස් රථයක් ආසන පමණට වඩා වැඩි මගීන් නංවා ගැනීම නොකළ යුතුය.
  • බස් රථය කාල සටහනකට අනුව ධාවනය වන බව විද්‍යාමාන විය යුතුය. බස් රථයේ පිටත් වන වේලාව සහ ගමනාන්තයට ළඟා වන වේලාව පෙනෙන අයුරිනසටහන් කර තැබිය යුතුය
ඇත්තෙන්ම පෞද්ගලික බස් රථ (මින් පසු පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ලේකම් හෝ බස් රථ හිමියන් හෝ රියැදුරන් හෝ කොන්දොස්තර වරු යන සියල්ල පෞද්ගලික බස් රථ ලෙස හැඳින්වේ) වලින් අල්පතරයක් හැර අනෙක් සියල්ලෝ ම මගී අයිතීන් තඹ දොයිතුවකටවත් මායිම් නොකරති. එසේම කිය යුත්තේ බොහෝ මගීහු ද තම අයිතිවාසිකම් නොදනිති. එබැවින් ඔවුන් බලහත්කාරකම් පානා අට වසරවත් සමත් නැති කොන්දොස්තරට යටවීමට සිදුවී සිටියි.

තවද ඇත්තෙන්ම මෙයට අතුළත් විය යුතු යමක් පවතියි.  එනම් මාරු සල්ලි පිළිබඳව ඇති ගැටළුවයි. ඇත්තෙන්ම මගීන් හට සල්ලි නැතුවා නොවෙයි. ඔවූහු ඇති තරම් මුදල් ගෙන යති. බස් රථ යනු සේවය සපයන්නෝ වෙති. ඔවුන්ගේ සේවය ලබා ගැනීමේදි මුදල් ඇති තරම් මාරු කරගැනීමට කොන්දොස්තර වරු ළඟ යහමින් මාරුකාසි තිබිය යුතුය. ඇතැම් විට කොන්දොස්තර වරු රුපියල, දෙක ඉතුරු මුදල් දීම පැහැර හරිති. ඔවුන් මෙම රුපියල ,දෙකෙන් දවසකට අවම තරමින් රුපියල් 500 (පන්සියයකවත් ) මහජන මුදල් පැහැරගනිති.

මා මෙහිදි ගෙන හැර දැක්විය යුතු අනෙකුත් කාරණය නම් බස් රථයක් පාරක ධාවනයේදී බස් රථයේ තිබිය යුතු අත්‍යාවශ්‍ය කාරණා පිළිබඳවයි. ඒවා පහත සඳහන් පරිදි වේ.

  • මගී ප්‍රවාහනය සඳහා අවසර ලබා දෙනුයේ මගීන්ට සහ තෙවන පාර්ශවයන් සඳහා රක්ෂණාවරණ ලබාගෙන ඇති බස් රථ සඳහා පමණි.
  • නවතම රෙගුලාසි අනුව සෑම වාහනයකම ගිනි නිවීමේ උපකරණ තිබිය යුතුය. තවද සේවාවේ යෙදී සිටියදී හෝ මගී ප්‍රවාහනය අතර තුරදි ඉන්ධන පිරවීම තහනම් වේ.
  • සේවයේ නියුතු බස් සේවා කාර්ය මණ්ඩලය සුදුසු විනීත ඇඳුමකින් සැරසී සිටිය යුතු අතර ඔහුගේ හැසිරීම ශිෂ්ට සම්පන්න විය යුතුය. ඔහු තම රාජකාරිය ඉටු කිරීමට දක්ෂ විය යුතු අතරම ජා.ග.ග.කො.ස විසින් නිකුත් කරන ලද හැඳුනුම් පත නිතරම ඔහු සන්තකයේ තබා ගත යුතුය.
  • ගමනාරම්භයේදී බසයට නැගීමෙන් පසු සහ ගමනාන්තයේදී බසයෙන් බැසීමට පෙර සියලුම මගීනට ටිකට් පතක් ලබාදීම අනිවාර්යය වේ. මෙම නිකුත් කරනා ටිකට් පත විධිමත් සම්මත ආකාරයට තිබිය යුතු අතර ඉලෙක්ට්‍රොනික උපකරණයක් මාර්ගයෙන් නිකුත් කළ යුතුය.
  • සුඛෝපභෝගී සහ අර්ධ සුඛෝපභෝගි බස්රථ වල ආසන සංඛ්‍යාවට වඩා මගීන් රැගෙන යාම හෝ මගීන් සිටගෙන ගමන් කරවීම තහනම් වේ. බස් රථ ලියාපදිංචි කරනුයේ මෙම ප්‍රතිපත්ති අනුගමනය කරන සහ මෙම සම්මතයන් ආරක්ෂා කරන බස් රථ පමණි.
  • පහත සඳහන් තොරතුරු බස්රථය තුළ ප්‍රදර්ශනය කළ යුතුය.
    • බස් ගාස්තු
    • ගමනාරම්භ වේලාව
    • ගමනාන්තයට ළඟා වීමට නියමිත වේලාව
    • ජා.ග.ග.කො.ස විසින් රියැදුරා සහ කොන්දොස්තර ලියාපදිංචි කර ඇති අංක
    • බස් රථයේ අංකය
    • නියමිත පරිදි ක්‍රියා කරන ඔරලෝසුවක්
  • බස් රථයේ ඉදිරියේ සහ පසුපස තිබිය හැක්කේ ප්‍රදර්ශනාත්මක තොරතුරු පමණකි. මගීන්ට හෝ පදිකයන්ට හිරිහැර වන අයුරින් ඉලෙක්ට්‍රොනික පද්ධති හෝ විසිතුරු දෑ සවි කිරීම තහනම් වේ.
  • රේඩියෝව ශ්‍රව්‍ය මාධ්‍යයක් ලෙස පමණක් භාවිත කළ යුතු අතර මගීන්ගේ සැපපහසුව නැති වන මට්ටමට භාවිත කිරීම තහනම් වේ.
නිකමට සිතා බලන්න බස්රථ කීයෙන් කීයක් මෙම නීතිය පිළිපදිනවාද කියා?

ඇත්තෙන්ම මෙහිදී රජයට එල්ල කළ යුතු චෝදනාවක් ද තිබේ. දැනට ලංකාවේ පවතින ජාතිවාදී ක්‍රියා මෙන්ම පෞද්ගලික බස් රථ මාෆියාවටද මෙතරම් වර්ධනය වීමට ඉඩ දුන්නේ රජයමය. රජය ඇතුළේ බස් රථ හිමි ඇමතිලාද සිටිති. ඔවූහු තම වාසියට පෞද්ගලික බස් රථ සඳහා අවශ්‍ය මූලාශ්‍ර සපයා ගෙන ඇත. ඇත්තනේම ආණ්ඩුවට තිබුණේ පෞද්ගලික බස් රථ කර්මාන්තයට ලංකාවේ පොදු ප්‍රවාහන අවශ්‍යතාවයෙන් 40%  ක පමණ කොටසක් ලබා දීමටය. එහෙත් දැන් එය 70% පමණ වන අතර යම් එහෙකින් පෞද්ගලික බස් රථ වර්ජනයක් ඇති වුවහොත් ලංකාවේ මගීන්ට සිදුවන අපහසුතාවය අතිමහත් වේ. කෙසේ වෙතත් පෞද්ගලික බස් රථ රියැදුරන් බොහෝ දෙනෙකුට මාර්ග නීති වෙනම ඉගැන්වීමට සිදු වී ඇත්තේ මොවුන් ධාවනය කරන මාර්ගයක අනෙකුත් කිසිදු වාහන වල රියැදුරන්ට අපහසුවකින් තොරව ධාවනය කළ නොහැකි නිසාය. එබැවින් මේ පිළිබඳව අදාළ බලධාරීන්ගේ ඇස් ඇරේවා යැයි මා ප්‍රාර්ථනා කරමි.

ස්තුතිය : ජාතික ගමනාගමන කොමිෂන් සභාව

ජාතික ගමනාගමන කොමිෂන් සභාවට මහජන පැමිණිලි ඉදිරිපත් කළ හැකි දුරකතන අංකය 0112595555

No comments:

Post a Comment