Friday, January 24, 2014

අන්තර්ජාලයේ දත්ත සොරකම් කිරීමේ අලුත්ම කලාව

පසුගිය දිනෙක මා හට අපූරු ඇරයුමක් Gtalk හරහා ලැබුණි. වරක් දෙවරක් මෙය ප්‍රතික්ෂේප කළේ මෙහි කාන්තාවකගේ පපු පෙදෙසෙහි අඩනිරුවත් ඡායා රුවක් තිබුණු බැවිනි. මෙහි ඊමේල් ලිපිනය ලෙස parente466@gmail.com ලෙස තිබුණි. කෙසේ වෙතත් අවසානයේදී මෙම ලිපිනය අයත් පුද්ගලයා ගේ අබිලාෂය කුමක් දැයි දැනගැනීමට මම මේ ආරාධනය පිළිගතිමි. මෙය පටන් ගත් තැන පටන්ම විවිධාකාරයෙන් ලිංගිකත්වය ඉලිප්පෙන පරිදි විවිධ වාක්‍ය ඛණ්ඩයන් මා වෙත නිරතුරුවම ලැබෙන ලදී. ඉන් කිහිපයක් මා උදාහරණයක් ලෙස පහත දක්වමි.

  • Im bored and wanted to meet new people...24/female .... you?
  • Was up there....
  • Hello :-)??
  • Im feeling Naughty. Want to have sum fun ?? =)
මේ ඒ අතරින් කිහිපයකි. ඉන් අනැතුරුව මා හට අඩනිරුවත් ඡායා රූ වල ලින්ක් එවනු ලැබූ අතර මේ තැනැත්තා හට තවත් ඉවසනු නොහැකි යැයිද මා හට දෙන ලද නිල් වෙබ් අඩවියක වීඩියෝ සංවාදයකට එන ලෙසද ඇරයුම් කරන ලදී. එහිදී මා හට සුවිසල් සැකයක් පහළ විය. ඉන් අනැතුරුව මා skype හෝ gtalk හි විඩියෝ සංවාදයකට ආරාධනා කළද එයින් ප්‍රතිඵලයක් නොවින. අනතුරුව සබඳතාව විසන්ධි වුවද පසු දිනද පෙර ලෙසම මා හට පණිවුඩ ලැබෙන ලදී. එකම පණිවුඩ විවිධාකාරයෙන්!

පසුව මා හට දැනුණ පරිදි, මෙය බොහෝ විට පරිගණක වැඩසටහනක් විය යුතුමය. මෙමගින් පුද්ගලයන් ලිංගිකත්වයට පොළඹවා නිල් වෙබ් අඩවි වලට ලියාපදිංචි වීමෙන් , මොවුනට කොමිස් ගාස්තුවක් ලැබෙනු ඇතැයි අනුමාන කළෙමි. දෙවැනුව එම නිල් වෙබ් අඩවිය මාගේ වෛරස ආරක්ෂකය මගින් බ්ලොක් කර ඇති නිසා එය අනිවාර්යයෙන්ම භාවිත කරන්නාගේ දත්ත සොරකම් කරන වෙබ් අඩවියක් විය යුතුමය. තෙවනුව මෙය ඔබ වීඩියෝ සංවාදයේදී රහසින් පටිගත කෙරෙනු ඇත. තවද ඔබගේ අතිශය රහස්‍ය දත්ත , විශේෂයෙන් ක්‍රෙඩිට් කාඩ් පත් දත්ත මගින් වංචා කිරීම් සිදු කිරීමද පුළුවන.

මෙවන් නවතම උපක්‍රම අන්තර්ජාලය ඔස්සේ පැතිරෙන යුගයක , ඔබත් මේ පිළිබඳව දැනුවත්ව සිටීම වටිනේ යැයි සිතුන නිසා මෙය ලීවෙමි. 

Wednesday, January 8, 2014

පිරිමි ලැප්ටොප් භාවිතා කරන්නේ බලාගෙනයි!


වර්තමානයේදී ජංගම පරිගණක හෙවත් ලැප්ටොප් පරිගණක භාවිතය සිඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. ලැප්ටොප් පරිගණකය නිර්මාණය වීම ඇත්තෙන්ම තාක්ෂණයේ ඉදිරි පිම්මක් වුවද , නිවැරදිව ලැප්ටොප් පරිගණක භාවිතා නොකිරීම මගින් පිරිමින් වඳ භාවයට පත්වීමේ අවධානමක් ඇති බව විද්‍යාඥයන් පෙන්වා දෙති. 

ඕනෑම පරිගණකයකින් තාපය නිපදවන අතර එය සිසිලනය සඳහා වෙනම විදුලි පංකා සහිත සිසිලන පද්ධතියක් තිබේ. එහෙත් ඒ හා අවට උපාංගද , පරිගණකයේ ආවරණයන්ද මෙම තාපය නිසා උණුසුම් වේ. මෙම කවරයන් හා උපාංගද වාතය මගින් සිසිලනය වන අතර ඒ හා සමීප වස්තූන් ද විකිරණය මගින් උණුසුම් කරයි. පිරිමින් තම කළවා මත මෙම ලැප්ටොප් පරිගණකය තබාගෙන එය සමග අන්තර්ක්‍රියා කිරීමේදී, කළවා මෙන්ම වෘෂණ කෝෂ ද උණුසුම් වේ. වෘෂණ කෝෂ සෙල්සියස් අංශක 2-3 අතර ප්‍රමාණයකින් වැඩිවීම ශුක්‍රාණු විනාශ වීම, විකෘත වීම ට ඉවහල් වේ. 

ඇත්තෙන්ම වෘෂණ කෝෂ උෂ්ණත්වයට අති සංවේදී වේ. එමෙන්ම වෘෂණ කෝෂ ශරීර උෂ්ණත්වයෙන් සෙල්සියස් අංශක 3-4 අතර පහළ අගයක පවතියි. බාහිර පරිසරයේ උෂ්ණත්වය අඩු වූ විට වෘෂණයන් ශරීර කුහරයට ආසන්න වන අතර වැඩිවූ විට ලිහිල් වී එල්ලා වැටේ. එහෙත් මෙම එල්ලා වැටීම සිදු කළ හැකි උපරිම දුරක් ඇත. එබැවින් ලැප්ටොප් භාවිතාව වැනි දේ නිසා වෘෂණයන් හි උෂ්ණත්වය ඉහළ යෑම වෘෂණයන්ට කොහෙත්ම දරාගත නොහැකි වේ. 

එබැවින් ලැප්ටොප් පරිගණක භාවිතාවේදී කළවා මත නොතබාගෙන සිටීමට හැකි තරම් උත්සහ කරන්න. මෙය ඔබ දරුවකු පිළිසිඳ ගැනීමට බලාපොරොත්තු වන කාලයේදී කිසි සේත්ම නොකිරීමට වගබලාගන්න.

Thursday, December 19, 2013

එන්ජිම බොයිල් කරනවද? මෙන්න හේතු

Is your vehicle overheating ?

එන්ජිම බොයිල් කරනවද? මෙන්න හේතු.....

වාහනයක ධාවනය සඳහා එන්ජිම අත්‍යවශ්‍ය වන අතර එය රැක ගැනීම සඳහා සිසිලන පද්ධතියක්ද අත්‍යවශ්‍ය වේ. වර්තමානයේදී අපගේ මාර්ග වල ධාවනය වන සියලුම මෝටර් රථ වාගේ අභ්‍යන්තර දහන එන්ජිම් අඩංගු ඒවා වේ. මෙහිදි වාහනයෙහි උපරිම කාර්යක්ෂම දහනයක්  වීමට 60C -85C අතරේ ධාවිත උෂ්ණත්වයක් රැඳී තිබිය යුතුය. අභ්‍යන්තර දහනයේදී එන්ජිම ඉහත කී උෂ්ණත්වයකට වඩා උණුසුම්  වන නිසා නියමිත උෂ්ණත්වයේ රඳවා ගැනීමට සිසිලන පද්ධතියක් එයට සම්බන්ධ කර ඇත. එහෙත් මෙම සිසිලන පද්ධතිය නියමිත පරිදි ක්‍රියාත්මක නොවුන හොත් එන්ජිමට මෙන්ම රියෙහි ගමන් ගන්නා ඔබටද හානියක් සිදුවීමට පුළුවන.

මෙවැනි වාහනය බොයිල් කරන විට හෝ උෂ්ණත්වය වැඩි වීමට පහත හේතු / හේතුවක් බලපෑ හැකි අතර ඒවාට විසඳුම් ද පහතින් දක්වා සිටිමි.

  • රේඩියේටරයෙහි වාතය හමා යෑමට ඇති ඉඩ ඇහිරී යාම.

    • ප්ලාස්ටික් බෑග් , පොලිතින් මලු , කොළ ආදිය රේඩියේටර කාමරයෙහි හෝ රේඩියේටරය මත රැඳීම. - විසඳුම - මේවා ඉවත් කරන්න.
    • මඩ සහිත පාරක හෝ වැසි දිනක වාහනයක් ඉදිරියෙන් හෝ ගමන් කිරීමෙන් රේඩියේටරයෙහි මඩ තැන්පත් වීම. විසඳුම - එන්ජිම සිසිල් වූ පසු රේඩියේටරයට හොඳින් වතුර අල්ලා සෝදා හරින්න.
  • රේඩියේටරයට සම්බන්ධ පංකාවෙහි දෝෂ.


    • මෙම පංකා වල පෙති කැඩී යාම හෝ විදුලි මෝටරයේ හෝ රිලේ පද්ධතියේ හෝ විලායකයේ දෝෂ. විසඳුම - එකිනෙක සොයා බලා , දෝෂ ඇති තැන් නිවැරදි කිරීම. දෝෂය සොයා ගැනීමට අපහසු නම් කාර්මිකයෙකු ලවා පරීක්ෂා කරවා ගන්න.
  • සිසිලන පද්ධතියේ දෝෂ.

    • රේඩියේටරයේ හෝ සම්බන්ධිත බට වලින් හෝ රේඩියේටරයෙහි ඇති සිසිලන ද්‍රව හෝ ජලය කාන්දු වීම. විසඳුම - මෙය සොයා ගැනීමට ඉතාමත් පහසු දෙයකි.සිසිලන ද්‍රව ඇත්නම් කොළ පාටින් කාන්දු වීම් දැකිය හැකිය. රේඩියේටරයේ කාන්දුවක් නම් කාර්මිකයකු ලවා නැවත සවි කරගත යුතු අතර බට වල කාන්දුවක් නම් එන්ජිම සිසිල් වූ පසු අලුත් බටයක් සවි කර ගත හැකිය.
    • රේඩියේටරයෙහි අභ්‍යන්තරයේ අවහිර වීමක් සිදුවීම.විසඳුම - මෙය සොයා ගැනීමට මඳක් අපහසු දෙයකි.එන්ජිම සිසිල් වූ පසු රේඩියේටරයේ සියලුම වතුර යට ඇති ඇණය ගලවා කාන්දු කොට නැවත පුරවා බලන්න. සාර්ථක නොවේ නම් කාර්මිකයකුගේ සහය ලබා ගන්න. මෙය දැන ගැනීමට තවත් එක් ක්‍රමයක් ඇත. එනම් රේඩියේටරයට සම්බන්ධ ඉහළ බටය අධික උණුසුමකින් තිබීමටත් පහළින් සම්බන්ධිත බටය අසාමාන්‍ය ලෙස සිසිලකින් තිබීමත් අවහිර වීමක ලක්ෂණ පෙන්වයි.
    • උෂ්ණත්ව යාමකයේ දෝෂයක් නිසා එය සම්පුර්ණයෙන් වැසී තිබීම. උෂ්ණත්ව යාමකය යාන්ත්‍රික කොටසක් බැවින් කාලානුරූපීව ගෙවී යාම් හෝ දෝෂ ඇති වීමට පුළුවන. බොහෝ උෂ්ණත්ව යාමන 88C හිදී විවෘත වුවද දෝෂ සහිත ඒවා විවෘත නොවීම මගින් රේඩියේටරයට සිසිලන ද්‍රව ගලානොගොස් සිසිලනය වීම වලකියි. - විසඳුම -  රේඩියේටරයට සම්බන්ධ බට දෙකෙන් එකක් අධික උණුසුමකින් තිබීමටත් අනික් බටය අසාමාන්‍ය ලෙස සිසිලකින් තිබීමත් මෙම උෂ්ණත්ව යාමනයේ දෝෂයක ලක්ෂණයක් විය හැක. තවද මෙහිදී වාහනය සිසිල් කොට , නැවත පණ ගන්වා Idle තත්වයේ විනාඩි 15 පමණ තිබියදී උෂ්ණත්වය අධිකව පෙන්වයි.කාර්මිකයෙකු ලවා මෙය ගලවා පරීක්ෂාකර බලා අවැසි නම් අලුත් උෂ්ණත්ව යාමනයක් සවිකරගන්න. ලංකාව වගේ රටකට ඇත්තෙන්ම මෙම උෂ්ණත්වයාමන අත්‍යවශ්‍යම නොවේ. මන්ද අපගේ රටට ආනයනය කරන  බොහෝ වාහන වල පදිකයින්ගේ කාමරය (Passenger Cabin) උණුසුම් කිරීමේ උපාංග නොමැති නිසාවෙනි.
    • සිසිලන පද්ධතියේ යම් තැනක වායු බුබුළක් රැඳී තිබීම මගින් අවශ්‍ය පීඩනය නැති වීම සහ පද්ධතියේ සම්බන්ධතාව ගිලිහී යාම.  - විසඳුම -  වාහනය ආනතියක් ඇති තැනක නවතා එන්ජිම සිසිල් වූ පසු රේඩියර් මූඩිය ගලවා පණ ගන්වා මඳක් එන්ජිම ධාවිත වේගය වැඩි කළ විට සිසිලන ද්‍රව සංසරණය වීම පටන් ගන්නා අතර  වායු බුබුළක් තිබේ නම් එය ඉවතට පැමිණෙනු ඇත.
    • රේඩියේටර මූඩියෙහි දෝෂ. රේඩියේටර මූඩියෙහි නිතරම නියමිත පීඩනයක් තිබිය යුතුය. ඇත්තෙන්ම එය එලෙස තිබෙනුයේ සිසිලන ද්‍රව වල තාපාංකය ඉහළ දැමීමටය. එහෙත් මෙම මූඩි නියමිත ආකාරයට ක්‍රියා නොකරන විට ද්‍රව හුමාලය බවට පත් වී එන්ජිම ඉහළ උෂ්ණත්වයකට පත්විය හැකිය.විසඳුම - එන්ජිම සිසිල් වූ පසු රේඩියර් මූඩිය ගලවා අළුත් රේඩියේටර මූඩියක් සවි කරන්න.
    • ජල පොම්පයේ දෝෂ හෝ කාන්දු වීම්. ජල පොම්පය සිසිලන පද්ධතියේ ද්‍රව සංසරණය කරවයි. මෙය අක්‍රිය වූ විට නියමිත පරිදි සිසිලනය නොවේ. මෙහි කාන්දු වීම් ඇතිනම් බාහිරට පෙනෙන අතර එන්ජිම ක්‍රියා කිරීමේදී වැඩියෙන් කාන්දු වේ. විසඳුම - කාර්මිකයෙකු ලවා මෙය ප්‍රතිස්ථාපනය කරගන්න. මන්ද මෙය ප්‍රතිස්ථෘපනයේදී එන්ජිමේ කාලයන් (Timing)  වෙනස් විය හැකි බැවිනි.

  • හෙඩ් ගෑස්කට් කාන්දුවීම් හෝ එන්ජිම් කුටීරයේ කාන්දුවීම්.

    • මෙයද එන්ජිම බොයිල් කිරීමට ප්‍රධාන හේතුවක් වන අතරම සොයා ගැනීමට ඉතාමත් පහසු එහෙත් අලුත්වැඩියා කිරීමට වියදම් අධිකව යන දෝෂයකි. මෙවැනි දෝෂ සහිත වාහන වල දුම් බටයෙන් අසාමාන්‍ය ලෙස හුමාලය හෝ සුදු දුමක් පිටවේ. එසේම එන්ජින් ඔයිල් සමග සිසලන ද්‍රව මිශ්‍ර වීම නිසා එන්ජින් ඔයිල් ක්‍රීම් පැහැති හැඩයට හැරීමද සිදුවේ.තවද රේඩියටර් මූඩිය ගලවා තැබුවහොත් දිගින් දිගටම වායු බුබුළු මතු වනු දැකිය හැකි අතරම , Block Tester Kit එකක් මගින් සිසිලන පද්ධතියේ කාබන් ඩයොක්සයිඩ් තිබෙන බව තහවුරු කරීමෙන් ඉහත දෝෂය හඳුනාගත හැකිය. විසඳුම - හෙඩ් ගෑස්කට් හෝ එන්ජිම ප්‍රතිස්ථාපනය කිරීම.

  • සිසිලන ද්‍රව අඩු වීම

    • සිසිලන ද්‍රව අඩුවීම නොයෙකුත් හේතු නිසා විය හැකිය. විශේෂයෙන්ම රේඩියේටර් මූඩියේ නැවත පැමිණෙන වැල්වයේ දෝෂයක් නිසා අමතර ටැංකියේ සිසිලන ද්‍රව වැඩිවී රේඩියේරයේ සිසිලන ද්‍රව අඩු වීමටද පුළුවන.  විසඳුම -අවැසි තරමට සිසිලන ද්‍රව එකතු කරන්න. දිගින් දිගටම අඩු වේ නම් හෝ අමතර ටැංකියේ සිසිලන ද්‍රව වැඩි වේ නම් රේඩියේටර් මූඩිය මාරු කරන්න.
ඉහත මා දැක්වූයේ එන්ජිම් බොයිල් කිරීමට සිදුවිය හැකි හේතු සහ ඒවායේ සරල විසඳුම් වේ. එසේම දිනපතා වාහනය ධාවනය කිරීමට මත්තෙන් එන්ජිමේ තෙල් , වතුර බලන්නේ නම් එය වඩාත් යහපත් වේ. මා එවැනි පුරුද්දක් තිබෙන බැවින් මාගේ අවුරුදු 25 පරණ වාහනයෙහි බොහෝ දෝෂ හඳුනාගෙන ඇති අතරම ඒවා සුළු වියදම් මගින් නැවත සකසාගෙන ඇත්තෙමි.

එන්ජිම බොයිල් වූ විට කළ/ නොකළ යුතු දෑ...

  • කළ යුතු දේ..

    • වාහනයේ උෂ්ණත්ව මානය අන්තරාය පෙදෙසෙහි ඇත්නම් හෝ නවීන වාහන වල නම් රතු සංඥාව දැල්වේ නම් හැකි පමණ ඉක්මනින් ආරක්ෂිත ලෙස වාහනය පාරෙන් අයිනට කර නවත්වන්න.
    • එන්ජිමට හොඳින් වාතය ලැබෙන පරිදි බොනට්ටුව හැර තබන්න.
    • සිසිලන ද්‍රව කාන්දු වේ දැයි සොයා බලන්න.
    • කාර්මිකයෙකු ගෙන්වා ගත නොහැකි නම් වාහනය සිසිල් වූ පසු සිසිලන ද්‍රව පරීක්ෂා කර බලා සෑහීමකට පත් වේ නම් පමණක් ආරක්ෂිත ස්ථානයකට ගමන් කරන්න. උෂ්ණත්ව මානය හෝ රතු සංඥා පිළිබඳව සැලකිල්ලෙන් ධාවනය කරන්න.

  • නොකළ යුතු දේ ...

    • වාහනය රත් වී තිබියදී රේඩියේටර් මූඩිය ඇරීමෙන් වළකින්න. මෙසේ රේඩියේටර් මූඩිය ඇරීමෙන් ඔබ හට අන්තරාදායක ලෙස පිළිස්සීම් ඇති වීමට පුළුවන.
    • අන්තරාය සංඥා නොතකා ධාවනය නොකරන්න.
    • අධික ලෙස රත් වූ එන්ජිමකට හෝ රේඩියේටරයට වතුර දැමීමෙන් වළකින්න.

Sunday, November 10, 2013

පොලිසිය තමාගේ හෙළුව වසා ගැනීමට අනුන්ගේ ඇසෙහි පරාළ දැකීම

"ආරක්‍ෂිත හිස් වැසුමි සමිබන්ධ නීතිය 1991 ජනවාරි 11 වන දින අංක 644 / 26 දරණ අති විශේෂ ගැසටි පත‍්‍රයේ රෙගූලාසි වල සදහන්ව ඇති අතර එම රෙගූලාසි 1981 අංක 21 දරණ මෝටර් වාහන පනතේ 158 (2) හා 237 වගන්තිය යටතේ ප‍්‍රවාහන විෂය භාර අමාත්‍යවරයා විසින් සාදා ඇත. 

එම නියෝග මෙසේය. 

01. අනුමත කරන ලද ආරක්‍ෂිත හිස් වැස්මක් නිකට වටා සුරක්‍ෂිත පරිදි නිකට පටියකින් සවි කිරිම මගින් පදවන්නාට සහ පසුපස ආසනයේ යන්නාට හිසට වැදෙන පහරකින් ප‍්‍රධාන වශයෙන්ම ආරක්‍ෂාව සලසන්නාවුද පැළද සිටින තැනැත්තාව පහසුවෙන් හඳුනා ගත හැකි වන සේ මුහුණ ප‍්‍රදේශයේ විවෘතව පවත්නාවුද හිසෙහි පළඳින උපකරණ විශේෂයක් විය යුතූය. 

02. ආරක්‍ෂිත හිස්වැස්ම පැළදි විට එහි කිසිම කොටසක් දිගූවක් හෝ සමිබන්ධිතයක් මගින් ඇහිබැම සහ නිකට අතර මුහුණෙහි කිසිදු කොටසක් අපහැදිලි වන "සැඟවෙන හෝ විකෘති වන ආකාරයේ වර්ගයක ආරක්‍ෂිත හිස් වැසුමි නොවිය යුතූය. 

03.ආරක්‍ෂිත හිස්වැස්ම යන්නෙන් ප‍්‍රමාණවත් අවට පෙනිම වැළැක්විමක් නොමැතිව හිස් වැස්ම පැළඳ සිටින්නාගේ හිසෙහි මුලික තලය ඉහළින් පිහිටි කොටසට වැදෙන පහරකින් ආරක්‍ෂා කිරිම. මුලික වශයෙන් අරමුණු කරගත් ශිර්ෂ පළඳනාවක් අදහස් වේ. 

04. ආරක්‍ෂක මුවාව (වයිසරය) මද පැහයෙන් වර්ණවත් කර හෝ කිසියම් වර්ණවත් ද්‍රව්‍යකින් තනා හෝ නොතිබිය යුතූය. 
ඉහත සදහන් රෙගූලාසි වලට පටහැනිව පාවිච්චි කරනු ලබන හිස්වැසුම් නිසා අනතූරු වලින් මිය යන හා තුවාල ලබන පිරිස වැඩි වි ඇති අතරම අඳුරු වයිසරය සහිත හිස්වැසුමි භාවිතා කිරිමෙන් අනන්‍යතාවය තහවුරු නොවන පරිදි අපරාධකරුවන් පළාගිය අවස්ථාද වාර්තා වි ඇත. "

ඇත්තෙන්ම මෙය සාධාරණ නීතියක්ද ? සමාජයේ අති සුළුතරයක් කරන්නා වූ අපරාධ හේතුවෙන් අතිමහත් වූ යතුරුපැදි ධාවකයන් වෙත අසාධාරණ ලෙස බලපාන නීතියක් බව බැලූ බැල්මටම පෙනී යනු ඇත. ඇත්තෙන්ම ත්‍රස්තවාදය පැවති කාලයේදී නම් මෙම නීතිය සාධාරණ යැයි කිවිය හැක. එහෙත් යුදමය ජයග්‍රහණය පිළිබඳවම නිතර මෙම ආණ්ඩුව වමාරණ කලෙක මෙවන් නීතින් නැවතත් කරලියට ගෙන ඒම අනුවණ ක්‍රියාවක් බව මොනවට පසක් වනු ඇත. පසුගිය සමයේ සිදු වූ අනතුරු  අතරින් යතුරු පැදි අනතුරු වල සංඛ්‍යාත්මක වර්ධනයක් සිදුවී ඇති බව වාර්තා අනුව පෙනී යයි. කෙසේ වෙතත් මෙය ෆොන්ටෙරා ආයතනයේ ඩී.සී.ඩී වැනිම තවත් දේශපාලනමය හා ව්‍යාපාරිකමය වශයෙන් වාසි තකා කෙරෙන යමක් බව මාගේ සිත පවසයි. කෙසේ වෙතත් මෙය මහජනයාට එදිරිව ගත් නීතියක් බවත් පොලිසියේ අකාර්යක්ෂමතාවය ඉස්මතුවීම වැලැක්වීමට ගන්නා වූ උත්සාහයක් බවත් පෙනී යයි. පොලිසියේ කාර්යය අපරාධ නැවැත්වීම මිස අනතුරු වලින් මිය යන සංඛ්‍යාව වැඩිකිරීම නොවේ. මෙය හිසේ රුදාවට කොට්ටය මාරු කිරීමක්මය.

Monday, October 28, 2013

නැවතත් අවධානය යොමු කළ යුතු ජාත්‍යන්තර පාසල් පද්ධතිය

නීති පොත් සහ නීති ඉතිහාසය වෙනස් කරමින් , අති විශිෂ්ට ගණයේ නඩු තීන්දුවක් ලබා දුන් , රෝයල් පාර්ක් මිනිමැරුම , ජනතාවට එරෙහි ජූඩ් ශාමන්ත නඩුවෙහි උණුසම තවමත් වියැකී නැත. අති කෘෘර අමානුෂික අයුරින් කාන්තාවක් ඝාතනය වී ඇත. විත්තිකරු සාධාරණ සැකයෙන් ඔබ්බට , නවතම විද්‍යාත්මක , එකම සාක්ෂිය මගින් වැරදිකරු බවට ඔප්පු කර ඇත. ජනපති නියම කැරෙන දිනයකදී මෙම සිත් පිත් නැති ඝාතකයා ප්‍රාණය නිරුද්ධ වනතුරු ගෙල වැල ලා එල්ලා තබනු ඇත. මෙය අයිස් කන්දේ මතුපිට තත්ත්වයයි. එහෙත් ගැටළුව තවමත් පහව ගොස් නැත. ලෙඩේට පමණක් බෙහෙත් කොට ලෙඩා මැරෙන්නට හැරීමෙන් පලක් නැත. ඇත්තෙන්ම ගැටළුව ඇත්තේ ඔවුන් හැදී වැඩුනු සමාජයයි. මෙම ගැටළුවට ආමන්ත්‍රණය නොකොට මෙවැනි වූ අපරාධ , සමාජ පිරිහීම වළකනු නොහැකි වනු ඇත.

මුදලට විකිණෙන මෙම සමාජයේ , ඇස්. බී වැනි ඇමති වරු සූදුව “ හොඳායි!!“ කියත්දී වර්තමාන සමාජ රටාව කුමක්දැයි තේරුම් ගැනීමට මොනවට උදාහරණ අවැසි දැයි සිතේ. ඇත්තෙන්ම වර්තමාන ආණ්ඩුවද දැවෙන ගැටළු ආමන්ත්‍රණය කිරීමට අපොහොසත් වී ඇත. ජනතාවගේ බදු වලින් ජීවත් වන ආණ්ඩුව නිසි අයුරින් එම ආදායම , නිසි අයුරින් ආයෝජනය කළ යුතුව ඇත. එහෙත් පරිපාලනය කෙතරම් දුර්වලද කියතොත් මේ වන විට “මිහින් ලංකා“ ආයතනය රුපියල් බිලියන 8.3 ක අලාභ සහිත “සුදු අලියකු“ වී ඇත. ඉතින් කෙසේ නම් අපි ගොඩ යමුද? යමක් ලාභ ලැබීමට පෙර , අලාභ ලැබීම නතර කළ යුතුය. දැන් අපේ බදු ගඟට කැපූ ඉනි සේ නිකන්ම අපතේ යෑමක් සිදුවී ඇත. කෙසේ වෙතත් මුදල් ඉපැයීමේ අරමුණින් ම බිහි වූ ජාත්‍යන්තර පාසල් පද්ධතියේ හරයන් ඇත්තෙන්ම සමාජයට වින කෙටීමක් මිස වෙනත් යමක් සිදු නොවේ.

ඇත්තෙන්ම මව් බස වූ සිංහලයට දැන් ඇති තැන කුමක්ද? සියලුම පෞද්ගලික ගුවන් විදුලි සහ රූපවාහිනි නාලිකා වල සේවය කරන නිවේදක නිවේදිකාවන් , එක්කෝ උපතින්ම රූමත් මෝඩයන්ය නැතහොත් සල්ලි වලට ඇඟ විකිණූ අයය. ඇත්තෙන්ම පෙරදී පෞද්ගලික රේඩියෝවක් ඇසීමට ප්‍රිය මා දැන් ඒවාට වෛර කරමි. මක් නිසාද ඒවායේ බුද්ධියට ආමන්ත්‍රණය කෙරෙන කිසිදු වැඩසටහනක් නැති බැවිනි. ඇතැම් නාලිකා මධ්‍යස්ථ වශයෙන් තත්ත්වයක් පවත්වාගෙන ගියද බහුතරයක් හුදු පුහු වින්දනය සඳහාම වෙන් කොට , මුදල් ලබා දී බලයෙන්ම රේඩියෝ අසවා ගන්නා අබුද්ධස්ස යුගයක් බිහිවී ඇත. මේ සියල්ලටම හේතුව පරිපාලනය ගෙන යන නිළධරයන් බොහෝ දෙනකු ලාංකේය හරය , අනන්‍යතාවය  නොදන්නා , තම දරුවන් වුවද විකුණා මුදල් සෙවීමට කෑදර අය වෙති. කෙසේ වෙතත් ජූඩ් ශාමන්ත , ඉවෝන් , කැරලයින් යන තිදෙනාම එකම ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලැබූවෝ වෙති. මෙම සිද්ධිය මාධ්‍ය මගින් කෙසේ උලුප්පා දැක්වුවත් එහි හරය මෙසේය.

සොයුරියන් දෙදෙනකු වෙති. ඔවුනගේ පියා ධනවත් විදේශිකයෙකි. මව ලාංකේය කතකි. දෙදෙනාම විදෙස් ජානගත වූ බැවින් විදෙස් යුවතියන් මෙන් රූ සපුව වූහ. තවත් තරුණයකුද මෙම පාසලෙහි විය. ඔහු කුඩා කලම දෙමාපියන් විරසකව දෙපසකට වී සිටියහ. මෙම තරුණයාගේ පියාද ධනවතෙකි. සල්ලාල කමෙහි අඩු නොවූ ධනවත් දරුවන් සුරාව , සූදුව, ගණිකාවන් , ලිංගිකත්වයට ඇබ්බැහි වී සිටිති. මෙම තරුණයාද එසේමය. පෙර සඳහන් කළ තරුණියන් දෙදෙනාගෙන් වැඩිමහල් තරුණිය මෙම තරුණයා සිටි වසරේම විය. රාත්‍රී සමාජ ශාලා මොවුනගේ ජීවිතය විය. රාත්‍රී සමාජ ශාලා ගැන කතා කරන විට , මටද එක් අත්දැකීමක් මතක් වේ.

 මා සේවය කළ ආයතනයේ ගිවිසුම් කාලය අවසන් වීමෙන් පසු , ආයතනයට සමුදුන් දවසේ පැවැත්වූ සාදයකදී මා හට කාර්යාල මිතුරෙකු මෙවන් සමාජ ශාලාවකට යෑමට ආරාධනා කළ අතර මෙවන් අත්දැකීමක් කෙදිනකවත් නොලැබ සිටි මම එයට කැමැත්ත දුනිමි. අඳුරේම තුන්සක රියක මෙම සමාජ ශාලාව වෙත ඇදුන අපිට පිටට කිසිවක් නොපෙනුනද “බුම් බුම් “ හඩින් ඇතුළේ ඇති ඝෝෂාකාරි , එහි බිත්ති ද බිඳගෙන පිටතට ඇසුනි. ඇතුළට පිවිසෙනදොරටුව අසල හැඩිදැඩි තරුණයන් කිහිපදෙනෙකු කඩවසම් අයුරින් ඇඳසිටි අතර ඔවුන් ආරක්ෂකයන් බව , පළපුරුදු මාගේ මිත්‍රයා පැවසීය. ඇතුළට පැමිණි  විටම  තම විලි යාන්තමට වසාගත් තරුණ කාන්තාවන් අපගේ අත්වල එල්ලුනේ තම ජීවන සහකාරයා දුටුවාක් මෙනි. මා එය පිළිකුල් කළ අතර මාගේ අතෙහි එල්ලුන කාන්තාව කාරුණිකව ප්‍රතික්ෂේප කළෙමි. ඇතුළත මිහිපිට අපායක් බඳු විය. තැන තැන බමන මතින් සිටින කාන්තාවන් සහ පුරුෂයන්ය. ඇතැම් අය ඝෝෂාකාරී සංගීතයට වැනෙමින් සිටියහ. ඇතැම් සේවිකාවන් ධනවත් තරුණයන්ට මත්පැන් වක්කරමින් ඔවුන්ට තවත් බීමට දිරි දෙමින් සිටියහ. ඇත්තෙන්ම මෙය විනෝදයක් නොවන බව මටත් මාගේ තවත් මිතුරෙකුටත් පසක් වන විට අප සමග ආ අපගේ පළපුරුදු මිතුරා සහ විනෝදයට බර තවත් මිතුරෙක් “වැඩ අරඹා“ තිබින. මත්වතුර බෝතල් දෙකක්ද අතින් ගෙන අතෙහි එල්ලුන කාන්තාවන් සමග අනඟ නැටුමක නිරත වූහ. අප කෑමට යමක් ඇනැවුම් කර අපගේ මිතුරන්ගේ විනෝදය අවසන් වන තුරු සිටියහ. රාත්‍රි 2 පසු වන තුරුද මොවුන් හට නිවෙස් වලට යෑමට තරම් සිහියක් නොතිබුනද අවසානයේ මොවුන් ඇදගෙන යාමට හෝ තීරණය කර , ගෙවීම සඳහා බිල් පත ඉල්ලා සිටියෙමු. එහි අවසානයේ තිබූ ඉලක්කම් දැක , මත් වතුර තොළ නොගෑ මට බමන ගතියක්ද දාඩියද දමන්නට විය. 15,000 ! එහෙත් බමන ගතින් සිටි මාගේ පළපුරුදු මිතුරා තම ක්‍රෙඩිට් කාඩ් පතින් එය ගෙවා දැම්මේ ඔහු මේ ජීවිතයේ ඇට්ටර වූ අයෙකු බව අප හට මොනවට පසක් කර දෙමිනි. අදටත් මම රාත්‍රී සමාජ ශාලා වලට වෛර කරමි.

පෙර කතා පුවතේ තරුණියන් සහ තරුණයා අතර හාදකමක් ඇතිවන්නට ඇත. විශේෂයෙන් වැඩිහිටි තරුණිය සමග තහනම් ගහේ ගෙඩි කන්නටද ඇත. පසුව වැඩිදුර අධ්‍යාපනය සඳහා විදෙස් ගත වූ වැඩිමහලු තරුණියගේ පාලුව මකන්නට බාල සොහොයුරිය යොදාගෙන ඇය සමගද තහනම් ගහේ ගෙඩි කා ඇත. පසුව ලංකාවට නැවත පැමිණි වැඩිමහල් සොයුරිය , සිය නැගණියද තරුණයාද කැටුව රාත්‍රී සමාජ ශාලාවකට ගොස් ඇති අතර එහිදී බහින් බස් වීමක් සිදු වී ඇත. තමාවද පාවිච්චියට ගෙන දැන් තම නැගණියද පරිහරණය කරන මෙම තරුණයා පිළිබඳ වෛර සිතක් , වැඩිමහලු තරුණියට නැගෙන්නට ඇත. කෙසේ වෙතත් පිරිහුණු සමාජයක ගොදුරක් බවට පත් වූ මේ චරිත තුනෙන් එක් චරිතයක් කතාවෙන් ඉවත් වන්නේ අමානුෂික ලෙස ඝාතනය වීමෙන් පසුවය. දැන් තවත් චරිතයක් පෝරකය පෙනෙන මානයේ සිටියි. දැන් ඉතිරිව සිටිනුයේ කයෙනුත් මනසිනුත් පසුතැවීමට පත් බාල සොහොයුරිය පමණකි. ඇත්තෙන්ම මෙම සිදුවීම් පෙළට වගකිව යුත්තෝ කවරහුද ?

දෙමාපිය වරද මෙහි ප්‍රධානත ම කරුණයි. හැදුන වැඩුන ලාංකේය දූ පුතුන් , තම සංස්කෘතිය සදාචාරය දත්තෝය. මෙම සංස්කෘතිය සදාචාරය උගැන්වෙනුයේ තම දෙමාපියන් විසිනි. තවද තම හෘද සාක්ෂිය විසින් අනුමත නොකෙරෙන දේ කිරීමට සංවරව හැදුනු අය ලජ්ජා වෙති , බය වෙති. මා දන්නා ධනවත් දෙමාපියන් සිටින දරුවන් අතළොස්සක් සංවර විනීත , පොළොවේ පය ගසා ජීවත් වන දානපතියන් වෙති. ඒ හොඳ දෙමාපිය ඇසුරයි. දෙවැනි කරුණ නම් ඇසුරු කරන්නා වූ සමාජයේ ගුණාත්මක බවයි. අපගේ ගිරා පෝතක ජාතකයේ මෙන් හොඳ ඇසුර හොඳ අයෙකු බිහි වීමටත් , නරක ඇසුර නරක අය බිහි වීමටත් බලපායි. ඇත්තෙන්ම නරක ඇසුර තිබුණත් හොඳ අයෙකු වන්නේ , කණ කැස්බෑවා විය සිදුරෙන් ඉර දකිනවා හා සමාන සම්භාවිතාවකිනි. තෙවන කාරණය නම් තමා ඉගෙන ගන්නා පරිසරයයි. ආගම දහමට ලැදිව නිවැරදි අධ්‍යාපනයක් හදාරන්නෙකු බොහෝ විට නරක ඇසුරට නෙම වන්නා සේම අනෙකෙකුට නපුරක්ද නොකරයි.

එහෙත් අධ්‍යාපනය ම පමණක් අරමුණු කරගත් , හර ගුණාංගයන්ට ඉඩ නොදෙනා , ලාංකීය බව නොහඳුනන මුදලට යට වුනු බොහෝ ජාත්‍යන්තර පාසල් සමාජයට දායාද කරනුයේ පිළිල  හෝ වෛරස වේ. තම ධාරකයාද විනාශ කරමින් සිය ගණනින් ගුණනය වන මෙවන් දේ නිසා ආසියාවේ මුතු ඇටය විනාශ මුඛයට යනු ඇත. ධනවත් දෙමාපියන්ගේ තත්ත්වය පෙන්වීමටද , එය තම සුඛෝපභෝගි භාණ්ඩයක් ලෙසද මෙම ජාත්‍යන්තර පාසල් භාවිත වේ. දරුවකුගේ වරදක් දුටු තැන දඬුවම් දීමට මෙම පාසල් වල ගුරුවරු මැලි වනුයේ දරුවන්ට තිබෙන ආදරය නිසා නොව , පාසල නඩත්තු කිරීමට එම දරුවාගේ දෙමාපියන් දෙන ආධාරයන් අහිමි වන බැවිනි. එවිට ගුරුවරු ළමයින් හරි මග යවනවා වෙනුවට , දෙමාපියන් ගුරුවරුන්ව හසුරවන තත්ත්වයක් උද්ගතව ඇත. විනය බින්දුවට බැස ඇත. මුදල් වලින් හැම දෙයක් ම ගත හැකි බව මොවුහු සිතා සිටිති. මෙම තත්ත්වය සමාජ කතිකාවතක් විය යුතු බව මාගේ මතයයි! ජාත්‍යන්තර පාසල් රටකට අවැසිය. එහෙත් එහි හර පද්ධතීන් යාමනය කිරිමට නිසි අධිකාරියක් තිබිය යුතුමය. එසේම සල්ලිකාර සෙල්ලක්කාර දූ පුතුන්ට මා දෙන අවවාදය නම්,

සල්ලි වලට ගැහැණියෙක් ගත්තද බිරිඳක් මිලට ගත නොහැක,
සල්ලි වලට කාමය මිලදී ගත්තද ආලය මිලට ගත නොහැක,
සල්ලි වලට දරුවකු ගත්තද සුජාත දරුවකු බිහිකළ නොහැක,
සල්ලි වලට උගෙන ගත්තද සාරධර්ම මිලට ගත නොහැක,
සල්ලි වලට තාවකාලික සතුට මිලට ගත හැකි වුවද සදාතනික සතුට ලබා ගත නොහැක.


Wednesday, October 9, 2013

විදුලි බිල වැඩිද ? මෙන්න අඩුකරගන්න හොඳම ක්‍රමය

ලංකාවේ පවතින වත්මන් තත්ත්වය මත මධ්‍යම පාන්තිකයන්ට සහ දුප්පත් ජනතාව මත බදු ආදී බර පැටැවෙත්දී , වි.බ.ම හි අකාර්යක්ෂම පාලනය හා දැඩි තීරණ ගැනීමේ දුෂ්කරතාවය නිසා අද වන විට විදුලි බිල සෑහෙන පමණින් වැඩි වෙමින් පවතී. අදිසි හස්තයක බලපෑම මත පෞද්ගලික විදුලි ජනනයන්ගෙන් විදුලි ඒකක , ඉතා වැඩි අගයකින් මිලට ගැනීම නිසා , එහි බලපෑම පාරිභෝගික වන අපහට දැරීමට සිදුවීම අභාග්‍යයකි. පසුගිය සමයේ ඇද හැලුනු ධාරානිපාත වර්ෂා සමග කාසල්රි , කොත්මලේ, ඉහළ කොත්මලේ ඇතුළු ජලාශ බොහෝ ප්‍රමාණයක් පිටාර මට්ටමට පැමිණි අතර වික්ටෝරියා වැනි ජලාශ වසර ගණනකට පසුව වාන් දමන ලදී. එහෙත් නිළධාරීන්ගේ පසුබට වීම නිසා ඉන්ධන ගැලපුම් ගාස්තුව තවමත් අප හට ගෙවීමට සිදුවූයේ වැසි සමයේ විදුලිය උත්පාදනය කළේ නම් මහා ඉතිරියක් කරගැනීමට තිබූ යුගයකය.

කෙසේ වෙතත් මා දැන් සාකච්ඡා කිරීමට යනුයේ ඉතිහාසය පිළිබඳව නොව දැනට අප නිකරුණේ වැය කරන විදුලි ඒකක ප්‍රමාණය අඩු කර ගැනීමේ සැලසුම් පිළිබඳවයි. අධිකාරීන් විසින් අප හට අසාධාරණ ලෙස වැඩි මිල පටවන්නේ නම් එය අඩු කර ගැනීමට සැලසුම් මහජනතාව විසින් ගත යුතුව ඇත.

තාපන උපකරණ භාවිතය අවම කිරීම

අප භාවිත කරනු ලබන උපකරණ වලින් වැඩිම විදුලි ඒකක ප්‍රමාණයක් වැය වන්නේ තාපන උපකරණ සඳහා ය. උදාහරණ වශයෙන් තාපන ඵලක ( Hot Plate) , විදුලි ස්ත්‍රික්කය , බත් පිසිනය , වතුර උණුකරණය ආදී වේ. මේවා භාවිත කිරීමේදී සැලකිලිමත් විය කරුණු පහත පරිදි වේ.

  • නිතර නිතර භාවිතාව වළකා හැකි තරම් එකවිට සියලු කර්තව්‍යයන් කිරීම
    • තාපන ඵලක හෝ  විදුලි ස්ත්‍රික්කය , බත් පිසිනය , වතුර උණුකරණය ආදිය භාවිත කිරීමේදී ඒ ඒ උපකරණ වලට අදාළ කර්තව්‍යයන් පෙළ ගස්වාගෙන සිදුකිරීම.
      • ආහාර සකස් කිරීම සඳහා තාපන ඵලකය භාවිත කරන්නේ නම් සියලු ඉවුම් පිහුම් එයින් කරගෙන එය විසන්ධි කර පිසගත් බත් බඳුන එය මත තබන්න. එවිට එහි රැඳි තාපයෙන් බත උණුසුම්ව තැබෙනු ඇත.
      • ඇඳුම් මදින විට පවුලේ සියලු ඇඳුම් එකවිට මැදීම.
  • ඉහළ තාප කාර්යක්ෂමතාවයෙන් යුතු තාපන උපකරණ මිලදී ගැනීම.
    • තාපන උපකරණ වල කාර්යක්ෂමතාව යනු සපයන ශක්තියට සහ පිටකරනු ලබන ශක්තියේ අනුපාතයයි. අපට අවශ්‍ය වනුයේ අඩුම විදුලි පරිභෝජනයකින් වැඩි කාර්යයක් කර ගැනීමටය.
  • විකල්ප උපකරණ භාවිතය
    • ගීසරය හෙවත් ස්නානය සඳහා ජල තාපකය සඳහා සූර්ය රශ්මියෙන් රත් වන ඒකකයක් මිලට ගැනීම

අනවශ්‍ය විදුලි පරිභෝජනය අවම කිරීම

  • විදුලි පංකා ආදිය හැකි තරම් භාවිතය අවම කිරීම
  • වායු සමන භාවිත කරන්නේ නම් මධ්‍යස්ථ මට්ටමේ උෂ්ණත්වයක් සඳහා උෂ්ණත්ව යාමනය සකසා තැබීම
  • හැකි සෑම විටම ජනෙල් ආදිය හැර වාතය නිවස්නය තුළට ඒමට සැලැස්වීම මගින් සිසිලනය කිරීම
  • අනැවශ්‍ය විදුලි බුබුළු නිවා තැබීම
  • විදුලි මෝටර ආදිය භාවිත කිරීමේදී විටින් විට නොව එක දිගටම භාවිතය (ජල පොම්ප)
  • විකල්ප උපකරණ භාවිතය
    • CRT රූපවාහිනි වෙනුවට LCD හෝ LED රූපවාහිනි භාවිතය.
    • සාමාන්‍ය විදුලි බල්බ වෙනුවට සංයුක්ත ප්‍රතිදීප්ත පහන් (සී.එෆ්. එල්) භාවිතය.
    • වර්ධක සහිත ශබ්ද පද්ධතීන් වෙනුවට කනෙහි රුවිය හැකි ශබ්ද විකාශන කට්ටල පැළැඳිම.

ස්වභාවික විදුලි උත්පාදන උපකරණ භාවිතය

  • සුර්ය කෝෂ මගින් විදුලි උත්පාදනය කර වියදම් කපා හැරීම.
බොහෝ විට විකල්ප උපකරණ සඳහා මූලික පිරිවැයක් දැරිය යුතු වුවද පසු කාලීනව එය සම්පුර්ණ ලාභයක් වනු ඇත.

Thursday, October 3, 2013

ආදරය සහ රාගය

මේ පුළුල් වූ මාතෘකාව සදහා මා මුලින්ම සත්ත්වයා සහ මිනිසා යන දෙකොට්ඨාශයේ වෙනස පිළිබඳ හැඳින්වීමක් කරමු. මූලිකව ම මිනිසා සහ අනෙකුත් සත්ත්වයන් අතර ඇති සුවිශේෂි ම වෙනස වනුයේ මිනිසාට මිහිපිට වෙසෙන සියලු ම සත්ත්වයන්ට වඩා මුහුකුරා ගිය බුද්ධියක් තිබීමයි. මස්තිෂ්කයේ වර්ගඵලය වැඩි කිරීම මගින් මිනිසාට අතිවිශාල න්‍යුරෝන ප්‍රමාණයක් හිමිව තිබේ. එහෙත් අනෙකුත් සත්ත්වයන් ද කාලානුරූපීව බුද්ධිය විකාශනය වුව ද මිනිසා තරම් පරිකල්පන හැකියාවන් දියුණු කිරීමේ අරමුණක් උන් සතුව නැත.

තත්ත්වය මෙසේ තිබියදී අපි සියලු ම සත්ත්ව ලෝකය දෙස ඇස යොමා බලමු. සියලුම සත්ත්වයන් තම වර්ගයා බෝ කිරීමේ අවශ්‍යතාව මත ලිංගික සංසර්ගයේ යෙදේ. තවද මෙම සත්ත්වයන් හට වරකට පැටවුන් එකකු හෝ දෙදෙනකුට වැඩි ප්‍රමාණයක් බිහි කළ හැක. මෙය හුදෙක්ම ජීව රසායනික ක්‍රියාවලියක් වේ. සියලුම ගැහැණු සතුන් වසරේ නියමිත කාලයකදී ලිංගිකව සරු බවට පත් වන අතර පිරිමි සතුන් හට මේ බව , ගැහැණු සතුන්ගෙන් නිකුත් වන රසායනිකන් ගේ උත්තේජනයන් මගින් පවසනු ලබයි. මින් පසු පිරිමි සත්තු ගැහැණු සතුන් සමග එක් වීමට තරග කරති. ශක්තිමත්ම පිරිමි සතා ගැහැණු සතා සමග එක් වන අතර මෙහිදී තරග වැදීමේදී පිරිමි සතුන් මිය යාම ස්වභාව ධර්‍මයේ  කුරිරු බව මොනවට විදහා දක්වයි. මෙය රාගය හෝ ආදරය යැයි අර්ථකතනය කිරිම නිවැරදි නොවේ.

ආදරය හෝ රාගය යනු ඇත්තෙන්ම මිනිස් සිතේ උපදින සිතිවිලි මගින් ඇතිකරන්නා වූ මානසික මට්ටමකි. වෙනත් සතුන් හට  මෙය අල්ප වශයෙන් ඇති අතර තම දරුවන් රැකබලාගැනීම සහ ඉගැන්වීම සඳහා සහජයෙන් ඇති ඉව ඉවහල් වේ. පැටවුන් උස් මහත් වූ පසු ඔවුන් වෙන වෙනම ජීවත් වෙති. නමුත් මිනිසාගේ දෙමාපිය - දරු  ආදරය මෙයට වඩා පුළුල් විශයක් වන අතර අද දින මෙම මාතෘකාවේදී මෙය සාකච්ඡාවට බඳුන් නොවේ. මිනිස් ශිෂ්ටාචාරය විසින් රැගෙන ආ සංකල්පයන් මත අද මිනිසා තම වර්ගයා බෝ කිරීමට බාහිර පරිසරය යොදා නොගන්නා අතර සංවෘත ස්ථාන යොදා ගනියි. තම පෞද්ගලිකත්වය ලෙස සීමා මායිම් යොදා ගෙන තත්ත්වයන් බොහෝ සංකීර්ණ කරගෙන සිටිති. කෙසේ වෙතත් මිනිසාගේ පරිකල්පන හැකියාවත් , නූතන සමාජය විසින් අනුබල දෙන්නා වූ කාරණා නිසාත් මිනිසාගේ ආදරය සහ රාගයෙහි මානයන් වෙනස් වී ඇති බව නම් අප අද අත්දක්නා සත්‍යයක් වේ.

ඇත්තේන්ම ආදරය සහ රාගය යනු ඉතා බලවත් මානසික තත්වයන් දෙකක් වේ. මෙය නිසි ලෙස යෙදැවීමෙන් මිනිසෙකු දියුණුවට පත් වීමටත් , අගාධයට යෑමටත් පුළුවන. එහෙත් නන්දා මාලනිය පවසන අයුරින් “ප්‍රේමය නම් රාගයෙන් තොර , සඳ එළිය සේ අචින්ත්‍ය , පාරිශුද්ධ ! “  නම් නැත. ඇත්තෙන්ම ආදරය තුළ රාගය යම් පමණකට පවතී. නමුත් සර්‍වසම්පූර්ණයෙන්ම වූ රාගය තුළ ආදරයක් අනුකම්පාවක් ඇත්තේ ම නැත. රාගය තුළ ඇත්තේ අයෙකු තුළ ඇති බුර බුරා නැගෙන කාමාශාව සිඳුවා ගැනීමට ඇති ආශාවයි. පිරිමියෙකු සහ ගැහැණියක අතර ඇති ආදර ගනුදෙනුවේදි එකිනෙකා වෙත අනුකම්පාව , දයාව, සෙනෙහස මෙන්ම කායික ආශාවන් සන්තර්පනය කරගැනීමට අවැසි රාගයද තිබිය යුතුය. නැති නම් මෙය හුදෙක්ම උත්තමයන් සමාජයේ අන් අයට දක්වන ආදරයක් පමණක් වන අතර හෝ අනෙක් අතකට ගත්කළ ආදරයෙන් තොරව දක්වන්නා වූ ශාරීරික බැඳිම , සතුන් වර්ගයා බෝ කිරීමේ අරමුණ හා සමාන බව කිව හැකිය.

කෙසේ වෙතත් තවමත් අප මොළයෙහි දියුණු නොවූ කොටස් ඇත. රාගය , පළා යාම , සටන් කිරීම , හදිසි අවස්ථාවන් හිදි නොසිතන ජවයන් ලැබීම ආදී වූ නොයෙක් දෑ මෙම නොදියුණු සත්ත්ව කොටසෙහි ක්‍රියා කාරීන් වේ. මිනිසකු තම මොළයෙන් 2% ත් 4% ත් අතර භාවිත කරන බැව් විද්‍යාත්මක මතයයි. මෙම ආදරයද මිනිසාගේ මොළයෙන් රාගිකව දෙන්නා වූ පණිවුඩය නිර්මාණාත්මකව පරිවර්තනය කිරීමක් යැයි පැවසීම වරදක් නොවේ. මන්ද ආදරය කරන දෙදෙනෙකු එකිනෙකා ආකර්ශනය කර ගැනීමට යමක් කරනුයේ අනාගතයේ දවසක යහන් ගතවීමට නොවේද ?මේ ගැන තව දුරටත් විග්‍රහ කිරීම ඔබට බාර කරමි.

එහෙත් අප මෙහිදී නොදකින තවත් පැතිකඩක් තිබේ. එනම් ආදරයේ හෝ රාගයේ අන්ත දෙක පිළිබඳවයි. ආදරයේ හෝ රාගයේ ඍණාත්මක පැත්ත නම් කෙනෙකුට විරුද්ධ හෝ සම ලිංගිකයන් පිළිබඳ කිසිදු අයුරකින් සංවේදනය නොවීමත් , තමා අන් අයට මෙන්ම තමාටද වෛරීය ස්වභාවයෙන් සිටීමත් වේ. මේ අය සමාජයෙන් කොන් වන්නා සේම දැඩි මානසික පීඩනය යටතේ සිය දිවි හානි කරගැනීමටද එළැඹිය හැකිය.
එසේම කාසියේ අනෙක් පැත්ත වන දැඩි රාගය සහ ආදරය ගත් කල්හි රාගය අධික පුද්ගලයන් අතින් ළපටි , මහලු , සමවයස් කාන්තාවන් හෝ පුරුෂයන් ලිංගික අපයෝජනයට ලක් විය හැකි අතර බොහෝ විට වෛශ්‍යාවන් කරා යොමු වන්නේද , කාන්තා හිංසනයට මුල පුරන්නේද මෙවැනි මිනිසුන් වේ. මහ උළු ගෙදර බොහෝ විට මෙවන් මිනිසුන්ගේ අවසාන නවාතැන වේ. ආදරය අධික වීමද අනෙක් අයට හිරිහැරයක් වීම වළක්වාලිය නොහැක. කෙනෙකු තවත් අයෙකු පිළිබඳව අසීමිතව සොයා බැලීම , දැඩි රැකවරණය ලබා දීම රැකවරණය ලබන්නා අපහසුතාවයට පත් කරනු ලබයි. එසේම අසීමිතව ආදරය කරන්නා බොහෝ විට සිත් තැවුලට පත්වන අතර මානසිකව කඩා වැටී , තම ජීවිතයෙන් වන්දි ගෙවීමට තීරණ ගැනීමද වළක්වනු නොහැකි වනු ඇත.

ආදරයේ සහ රාගයේ නිර්වචනය පුළුල් කිරීමේ හැකියාව ඔබටත් පවතී. අපත් සමග සාකච්ඡා කරන්න.෴

ඔබට සුභ දිවියක්! සුභ අනාගතයක් ලැබේවා!